ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රමපෝසා සංචාරය 'ජාත්‍යන්තරය නොමඟ යැවීමක්'

18 ජූලි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 16:29 GMT

දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමපෝසා යොදා ගෙන කෙරෙන 'ජාත්‍යන්තර මැදිහත්වීම' දෙමළ ජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීමේ ආණ්ඩුවේ තවත් උපක්‍රමයක් බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ ලන්ඩන් නුවර බීබීසී මූලස්ථානයේදී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

"දකුණු අප්‍රිකාවෙන් ඇවිල්ල මේක කිවුවත්, ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් මේක කිවුවත් දෙකම ජාත්‍යන්තර මැදිහත්වීම්," යනුවෙන් ඔහු පැවසීය.

ජිනීවා මානව සමුළුව මගින් පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණය යටපත් කිරීමේ 'ආණ්ඩුවේ උපක්‍රමයක්' ලෙසිනුයි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා දකුණු අප්‍රිකාවේ සංහිඳියා උත්සාහය හඳුන්වා දුන්නේ.

"මට පේන හැටියට අවංක උත්සාහයක් නෙවෙයි. මොකද හේතුව, උගත් පාඩම් වාර්තාව ගේන කොටත් කිවුවේ ඕකමයි," යනුවෙන්ද ඔහු සරෝජ් පතිරණ සමඟ සංවාදයකට එක් වෙමින් කියා සිටියේය.

ජාතික ගැටලුව

කෙසේ නමුත් රමපෝසා උප ජනාධිපතිවරයාගේ සංචාරය ද්විපාර්ශ්වික සම්බන්ධතා තර කිරීමේ අරමුණින් කෙරෙන්නක් පමණක් බව විදේශ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා සංදේශයට කියා සිටි අතර, සිරිල් රමපෝසා 'සංචාරකයෙක්' පමණක් බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබුණි.

රමපෝසා මැදිහත්වීම 'ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීමේ උත්සාහයක්'

දෙමළ ජනතාවගේ ගැටලුවලට එක්සත් ජාතික පක්ෂය ලබා දෙන විසඳුම කවරක්දැයි විමසු අවස්ථාවේ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කියා සිටියේ, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පාලනයට යටත්ව පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබා දෙමින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට සිය පක්ෂයේ අනාගත ආණ්ඩුවක් කැප වන බවයි.

කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයකදී විරුද්ධ පක්ෂ සමඟ පොදු ක්‍රියාදාමයකට එකඟ වන නමුත්, සිය අපේක්ෂකයා මැතිවරණයට තරඟ කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව මහ ලේකම්වරයා අවධාරණය කළේය.

යලිත් වරක් බලයට පත්වුවහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සිය පක්ෂය කැප වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීම පිළිබඳව කණගාටු වන්නේ දැයි මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, 1977 දී එවක පැවති අවශ්‍යතාවයන්ට අනුකූලව රටේ දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කිරීම් වස් එම ක්‍රමය හඳුන්වා දුන් නමුත් වර්තමානයේ එය මහජනතා යහපත වෙනුවෙන් යොදා නොගැනෙන බවට චෝදනා එල්ල වී ඇති බවයි.

භීෂණ සමය

අසූව දශකයේ අග භාගයේ 'භීෂණ සමයේදී' සිය පක්ෂයේ සාමාජිකයන් විසින් කරන ලද මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සමාව ඉල්ලා සිටීම පිළිබඳව අදහස් දැක්වූ මහ ලේකම්වරයා, එය 'ඉතා හොඳ ප්‍රවණතාවයක්' ලෙස හඳුන්වා දුන්නේය.

ජවිපෙ නායකයා සමාව ඉල්ලා සිටීම 'ඉතා හොඳ ප්‍රවණතාවයක්'

"අවාසනාවකට විශාල මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් සිද්ද වුනේ. ඇත්තෙන්ම ඒක අපිට අනුමත කරන්න පුළුවන් දෙයක් නොවෙයි. කොයි පාර්ශවයෙන් සිද්ද වුනත්; එක්සත් ජාතික පක්ෂයෙන් වුනත්, ජනතා විමුක්ති පෙරමුණෙන් සිද්ද වුනත්," යනුවෙන්ද තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පැවසීය.

"ඒක බරපතල වැරැද්දක්, අඩුපාඩුවක්. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ ඝාතන අපි කවුරුවත් අනුමත කරන්නේ නෑ. ඒ ගැන අපි කවුරුත් කනගාටු වෙනවා."

යලිත් එවන් වාතාවරණයක මතු නොවීම පිණිස කටයුතු කිරීම සියලු දේශපාලන නායකයන්ගේ වගකීම බවත් ඔහු සඳහන් කළේය.