කුරාම් ෂයික් තීන්දුව: 'ඉතිහාසගත ජයක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 18 සිකුරාදා - 10:00 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

කුරාම් ෂයික් ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවලට වැරදිකරුවන් කෙරුණු තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට වසර 20 බැගින් සිර දඬුවම්.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

කුරාම් ෂයික් තීන්දුව: 'ඉතිහාසගත ජයක්'

00:01:29

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු බව තීන්දු කෙරුණු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 20 ක් බැගින් සිර දඬුවම් නියම කළේය.

ලහිරු කැලුම්, සමන් දේශප්‍රිය සහ ප්‍රගීත් චතුරංග දඬුවම් නියම වූ අනෙක් විත්තිකරුවන්.

තවත් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියම කළේය.

තීන්දුව දීමට පෙර විශේෂ ප්‍රකාශයක් කළ විනිසුරු රෝහිනී වල්ගම, තමන් මෙම නඩු විභාගය පමා කරන බවට ඇතැම් මාධ්‍යවලින් එල්ලකළ චෝදනා මෙම තීන්දුවත් සමගම බිඳ වැටෙන බව කියා සිටියාය.

'හදවතට තට්ටු කරන්න'

"මම මාස තුනහමාරක් වැනි කෙටි කාලයක් තුල නඩුව අවසන් කළා. මේක ඉතිහාසගත ජයක් ලෙස කිව යුතුයි. මා මෙම නඩු තීන්දුව ලබා දී තිබෙන්නේ ඉදිරිපත් වූ සාක්කි පදනම් කරගෙන මාගේ හෘද සාක්ෂියට අනුවයි," යනුවෙන් ඇය සඳහන් කළාය.

කුරාම් ෂයික් ඝාතනය සහ පෙම්වතිය දූෂණය කිරීම ගැන විත්තිකරුවන්ට චෝදනා

2011 නත්තල් දින උදාවේ දී කුරාම් ෂයික් තංගල්ලේදී ඝාතනයට ලක් විය.

"මේක දේව කාර්යයක් ලෙසයි මා සලකන්නේ. මේ නඩුව තුලින් පැමිණිලි සහ විත්ති පාර්ශවයන්ට වඩා වැඩිපුර අපහාස වින්දේ මමයි." ලෙසින් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

එහෙත් විත්තිකරුවන් මෙම තීන්දුව පිළි නොගන්නා බව, විත්ති පාර්ශ්වයේ නීතිවේදී විජයසිරි අඹවත්ත මාධ්‍ය අමතමින් කියා සිටියේය.

"මේ නඩුවේ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී නොමැති බව අපි නඩු විභාගයේදී කරුණු පෙන්වා දුන්නා. එහෙත් ඒවා විනිසුරුවරිය සැලකිල්ලට භාජනය කර නැහැ. මෙම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා," බවයි ඔහු පවසන්නේ.

'අභියාචනයක්'

එහෙත් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව අධිකරණයේ නිගමනය විය.

"මේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම් තම හදවතට තට්ටු කර තමන් වැරදිකරු ද නිවැරදිකරු ද යන්න විමසා අභියාචනය ඉදිරිපත් කරන ලෙසයි මා විත්තිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ," යනුවෙන් සඳහන් කළ විනිසුරු රෝහිනී වල්ගම, මිනීමැරීම සහ ස්ත්‍රී දූෂණ චෝදනාවලට විත්ත්තිකරුවන් වැරදිකරුවන් බව සඳහන් කළාය.

'අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම් හදවතට තට්ටු කොට වැරදිකරු ද නිවැරදිකරු ද යන්න විමසා බලන්න'

කෙසේ නමුත් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සදහා ප්‍රබල නීතිමය පසුබිමක් නිර්මාණය වී තිබෙන බව විත්තියේ නීතිවේදී උදය රොහාන් ද සිල්වා සඳහන් කළේය.

"විනිසුරුවරිය විත්තිකරුවන් වරදකරුවන් කිරීමට හේතුවූ කරුණු විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ නැහැ. දඬුවම් ලිහිල් කිරීම සදහා කරුණු දැක්වීම සඳහා විත්තියේ නීතිවේදින්ට අවස්ථාව ලබා දුන්නේ නැහැ. තීන්දුව ප්‍රකාශ කළ විනිසුරුවරිය එක්වරම විනිශ්චය ආසනයෙන් නැගිට ගියා," යනුවෙන්ද නීතිවේදී රොහාන් ද සිල්වා සඳහන් කළේය.

නඩු තීන්දුව දැක බලා ගැනීම පිණිස විශාල පිරිසක් අධිකරණ භුමියට රැස්ව සිටි අතර පොලිස් ආරක්ෂාවද තර කොට තිබුණි.

2011 වසරේ දෙසැම්බර් මස 24 වනදා රාත්‍රියේ තංගල්ලේ නිවාඩු නිකෙතනයකදී කුරාම් ෂයික් මරා දමා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දුෂණය කල බවට චෝදනා කරමින් සම්පත් විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබ තිබුණි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.