"නීතිඥ උපදෙස් දීමක් පමණයි " ජෙෆ්රි නයිස්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 18 සිකුරාදා - 17:41 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

තමාගේ කාර්ය වෙනත් සේවා දායකයන්ට මෙන් ශ්‍රී ලංකා රජයට උපදෙස් දීම පමණක් බව රාජ නීතිඥ ජෙෆ්රි නයිස් ප්‍රකාශ කරයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

"නීතිඥ උපදෙස් දීමක් පමණයි " ජෙෆ්රි නයිස්

00:04:12

ජෙෆ්රි නයිස්

ශ්‍රී ලංකාවේ අතුරුදහන් වුවන් පිලිබඳව විභාග කරන කොමිසමට උපදෙස් සැපයීමට පත් කරණ ලද බ්‍රිතාන්‍ය නීතිවේදීන් ඇතුලත් කමිටුවේ එක සාමාජිකයෙකු වන රාජ නීතිඥ ජෙෆ්රි නයිස් පවසන්නේ තමා ගෙන් විමසීමක් කළහොත් අවශ්‍ය උපදෙස් දීම තම කාර්ය වන බවයි.

දෙස්මන් ද සිල්වා සහ ඩේවිඩ් ක්‍රෙන් යන නීතිඥයන් මෙම කොමිසමට පත් කර ඇති අනෙක් නීති වේදීන්ය.

බීබීසීයට අදහස් දැක්වූ ජෙෆ්රි නයිස් ශ්‍රී ලංකාවේ කොමිසම සමග කටයුතු කරන සෙසු නීති වේදීන් දෙදෙනාගේ සහ තමාගේ කාර්ය වෙනත් සේවා දායකයන්ට මෙන් උපදෙස් දීම පමණක් බවයි කියා සිටියේ.

කොමිසම මේ වන විටත් වසරක් පමණ මේ සම්බන්ධයෙන් කටයුතු කොට තිබෙන නිසා ඔබ සහ තවත් විශේෂඥයන් කිහිප දෙනෙකු මේ අවස්ථාවේ කැඳවීමට හේතුව කුමක් දැයි බීබීසී ය ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජෙෆ්රි නයිස් කියා සිටියේ එම ප්‍රශ්නය ඇසිය යුත්තේ දේශපාලනඥයන්ගෙන් බවයි.

තව දුරටත් ඒ සම්බන්ධයෙන් තම අදහස් පළ කළ ඔහු පැවසුවේ තම දැනුමට අනුව විවිධ අංශ සම්බන්ධ විශේෂඥයන් කැඳවීම තුලින් කොමිසම පුළුල් කිරීමට ඔවුන් උත්සාහ කරන බවයි.

නමුත් මාස ගණනාවකට පසූ ඔවුන් මේ තීරණය දැන් ගෙන ඇත්තේ මන්දැයි තමන් නොදන්නා බවයි ඔහු පවසන්නේ.

රජයක් ලෙස ගෙන තිබෙන තීරණය පිළිගත හැකි එකක් බව ඔහුගේ අදහසයි.

නම හෙළි කිරීමට අකමැති රජයේ බලධාරීන් බීබීසී කොළඹ වාර්තා කරුවෙකු සමග පවසා ඇත්තේ විශේෂඥයන් කැඳවා තිබෙන්නේ රජයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පවතින නරක විවේචන සමනය කිරීමට වන බවක්.

වැරදි වසන් කිරීම

ඩෙස්මන් ද සිල්වා

යුධ අපරාධ සහ මුලික අයිතිවාසිකම් උල්ලංඝනයවීම සම්බන්ධයෙන් රජයේ ක්‍රියා පිළිවෙත ඉතා නරක ලෙස විවේචනයට ලක්ව තිබෙන අවස්ථාවක මෙම කැඳවීම සිදු කිරීම රජය විසින් වැරදි වසන් කිරීමට ගත් උපක්‍රමයක් දැයි ප්‍රශ්න කරනු ලැබීය.

වැරදි වසන් කිරීමට ගන්නා උපක්‍රමයක් වන්නේ කරුණු ඉදිරිපත් කරන පුද්ගලයන්ට බලපෑම් කිරීම තුලින් ඔවුන්ට අවශ්‍ය කරුණු සනාථ කරවීම වන බව පැවසු ජෙෆ්රි තව දුරටත් කියා සිටියේ තමන්වත් කොමිසමේ අනිත් සාමාජිකයන්වත් එලෙස කටයුතු නොකරන බවයි.

ඔහු සහතික වුයේ හැම විමර්ශනයකදීම ප්‍රශ්න කිරීම් සහ පිළිතුරු ලබා ගැනීම තුලින් මෙන්ම රජයේ අදහස් විමසීම මගින් කොමිසම තීරණ වලට එළඹීමට කටයුතු කරන බවයි.

සේවාදායකයන් නීතිඥයන්ගෙන් උපදෙස් බලාපොරොත්තු වුවත් අවසාන තීරණ ගනු ලබන්නේ ඔවුන් විසින් බව කියා සිටි නීතිඥවරයා පැවසුවේ සාමාන්‍ය සේවාදායකයෙකු සහ නීතිඥයෙකු අතර පවතින සම්බන්ධයට වඩා මෙම අවස්ථාව වෙනස් නොවන බවයි.

නිවැරදි තොරතුරු

ඩේවිඩ් ක්‍රෙන්

ශ්‍රී ලංකාවේ රජය, තනතුර සහ ජාත්‍යන්තර පිළිගැනීම පාවිච්චි කර ඔවුන්ට නිසි පියවර ගැනීමට නොහැකි වූ යුද අපරාධ සහ මුලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව ඇති ජාත්‍යන්තර විවේචන වලින් මිදීමට උත්සාහ ගන්නේ දැයි බීබීසීය විසින් ප්‍රශ්නයක් යොමු කරන ලදී.

ඊට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, තමන් දෙන උපදෙස් රජය විසින් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ප්‍රසිද්ධියේ සිදු කරනවා නම් සහ නිවැරදි තොරතුරු ප්‍රසිද්ධියට පත් කරනවා නම් තමන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැති බව සහ තමා ලබා දෙන උපදෙස් වැරදි ලෙස ප්‍රසිද්ධියට පත් කළහොත් මාධ්‍ය ඉදිරියේ ලබා දුන් නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

තමන් රජයේ බලධාරියකු නොවන බැවින් රජය ගන්නා තීරණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම නොසුදුසු බව පැවසු ඔහු කියා සිටියේ නීතිඥයෙකු උපදෙස් ලබා දීමෙන් පසුව ඒ උපදෙස් පිළිගන්නවද නැත්ද යන්න සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරීම නීතිඥ වෘතියේ රහස්‍යභාවය සුරැකීමේ වගකීමට එරෙහි බවයි.

තවත් ප්‍රශ්නයකට පිළිතරු දෙමින් ඔහු කියා සිටියේ තම උපදෙස් පිළි ගැනීම රජය ප්‍රතික්ෂේප කළහොත් කොමිසමෙන් ඉවත් වනවාද නැතිනම් සේවය ලබා දෙනවාද යන්න තම පෞද්ගලික තීරණයක් වන බවයි.

නීතිඥයෙකුගේ වගකීම තමා සේවයට ගත් සේවා දායකයාට නීති උපදෙස් ලබා දීම මිස ඔවුන් වෙනුවෙන් තීරණ ගැනීම නොවන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.