අනාථයන් ශ්‍රී ලංකාවට යවන්නේ නෑ - ඕස්ට්‍රේලියාව

  • 18 ජූලි 2014

ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට ලඟා වීමට උත්සාහ කළ බෝට්ටුවේ සිටින ශ්‍රී ලාංකිකයන් 153 දෙනා යළි ශ්‍රී ලංකාවට පිටත් නොකරන බවට ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රතිඥාවක් දුන් බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.

එම පිරිස සම්බන්ධ නඩුව සිකුරාදා යලිත් විභාගයට ගැනුන අවස්ථාවේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුව මෙම ප්‍රතිඥාව දුන් බවයි, අනාථයන් සඳහා වන ක්‍රියාකාරී සන්ධානයේ ඉයන් රින්ටූල් බීබීසී සංදේශයට කියා සිටියේ.

"මේ 153 දෙනා කිසිසේත්ම යළිත් ශ්‍රී ලංකාවට පිටත් කරන්නේ නැහැ කියල ආණ්ඩුව අද පොරොන්දු වුනා. ඔවුන් වෙනත් රටකට යවනවා නම් අනිවාර්යයෙන්ම පැය 72 කට කලින් ඔවුන්ගේ නීතිඥයන්ට දැනුම් දෙන බවටත් ආණ්ඩුව පොරොන්දු වුනා," යනුවෙන්ද ඔහු පැවසීය.

කෙටි විභාගයකින් අනතුරුව විභාගය ලබන අගොස්තු පස් වැනි දිනට කල් තැබුණු බවත් ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර විවේචන

ශ්‍රී ලංකාවේ සිට පිටත් වූ වෙනත් බෝට්ටුවක සිටි 41 දෙනකු ඊට දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් යළිත් ශ්‍රී ලංකාවට භාර දෙනු ලැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල හෙලා දැකීමට ලක් විය.

දෙවැනි බෝට්ටුවේ සිටින පිරිස යළිත් ශ්‍රී ලංකාවට භාර නොදෙන බවට ඕස්ට්‍රේලියාව අධිකරණයට පොරොන්දු වීමට හේතුව එම විවේචන විය හැකි බවත් ඉයන් රින්ටූල් පැවසීය.

"ආණ්ඩුව ඒක පිළිගන්නේ නැහැ. නමුත් ආණ්ඩුවට දැඩි ජාත්‍යන්තර පීඩනයක් එල්ල වෙලා තියෙන බව ඉතාම පැහැදිලියි. ඒ නිසා තමයි ආරක්ෂාව ඉල්ලා සිටින පිරිසක් තැනට තර්ජන එල්ල වෙලා තියෙන බව ඔවුන් කියන රටටම ආපසු යවන්නේ නැති බවට සහතිකයක් දෙන්න ආණ්ඩුවට සිද්ද වුනේ."

කෙසේ නමුත් මේ පිරිස රඳවා සිටින්නේ කොතැනකද යන්න ඕස්ට්‍රේලියානු බලධාරීන් තවමත් හෙළි කොට නැහැ.

"ඒ පිරිස අත් අඩංගුවට ගෙන ඕස්ට්‍රේලියානු නෞකාවක රඳවා සිටින බව පමණයි ඔවුන් කියන්නේ. ඒ කියන්නේ නැව තවමත් තියෙන්නේ ජාත්‍යන්තර මුහුදේ. මුලින්ම ඒ පිරිස අල්ල ගත්ත ස්ථානයේ ඉඳල දැන් ඔවුන් තවත් මුහුද මැදට ගෙනිහිල්ල තියෙනවා," යනුවෙන්ද ඉයන් රින්ටූල් පැවසීය.

"ඇත්තටම දැන් මෙතන තියෙන ප්‍රධානම ප්‍රශනය තමයි, ජාත්‍යන්තර මුහුදේදී මේ විදියට වැටලීම් කරලා, රඳවා ගෙන ඉන්න ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවට කොයි තරම් බලයක් තියෙනවද කියන එක."

බෝට්ටුවේ රඳවා ගෙන සිටින දේශපාලන රැකවරණ පතන්නන් පිරිසට සිය නීතිවේදීන් හමුවීමට පවා නිසි අවස්තාවක් නොලැබෙන අතර, ඔවුන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය පිළිබඳව බරපතල අවධානය පළ වී තිබෙන බවත් ඔහු කියා සිටියේය.