උගත් පාඩම් සඳහා ජාත්‍යන්තර උපදේශක මණ්ඩලයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 17 බ්‍රහස්පතින්දා - 13:40 GMT

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ සහ විෂය පථය තවත් පුළුල් කරමින් උපදේශක මණ්ඩලයක් පත් කරනු ලැබීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරනු ලැබ තිබෙන එම ත්‍රිපුද්ගල උපදේශක මණ්ඩලය විදේශීය නියෝජිතයන්ගෙන් සමන්විත වෙයි.

එක්සත් රාජධානියේ රාජනීතිඥ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා නව උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා වන අතර, රාජ නීතිඥ ශ්‍රීමත් ජෙෆ්රි නයිස් සහ මහාචාර්ය ඩේවිඩ් ක්රේන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කියා සිටින්නේ ‘උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිසන් සභා වාර්තාවේ නිශ්චිත සහ සාමාන්‍ය වශයෙන් සඳහන් වී තිබෙන කරුණු ගණනාවක් පරීක්ෂා කිරීම ජනතා ශුභ සෙතට හේතු වනු ඇතැයි ජනාධිපතිවරයා අදහස් කරන හෙයින් පරීක්ෂණ කොමිසන් සභාවේ විෂය ක්‍ෂේත්‍රය තවත් පුළුල් කරන’ බවයි.

උපදේශක කාර්යය

මේ අනුව 2013 අගෝස්තු මස පහළොස් වෙනි දින නිකුත් කරන ලද 1823/42 දරන ගැසට් නිවේදනයේ පල කරන ලද පරීක්ෂා කොමිසන් සභාවේ විෂය ක්‍ෂේත්‍රය 2014 ජුලි පහළොස් වෙනි දින අති විශේෂ ගැසට් නිවේදනය මගින් තවදුරටත් පුළුල් කෙරෙයි.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන පරීක්ෂණ කොමිසන් සභා වාර්තාවේ 4.359 වැනි ඡේදයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් කොමිසන් සභාව විසින් විමර්ශනය කළ යුතු නිශ්චිත කාරණා නව ගැසට් නිවේදනයේ දැක්වෙයි.

පරීක්ෂණ කොමිසන් සභාවට ගැසට් නිවේදනයේ දැක්වෙන නෛතික සහ අදාළ පැතිකඩ ආවරණය වන ජාත්‍යන්තරව ලබා ගත් විශේෂඥ දැනුමක් සහ පළපුරුද්දකින් සමන්විත ජාත්‍යන්තරව පිළිගත් විශේෂඥයන්ගේ උපදෙස් වල ප්‍රතිලාභය ලබා ගැනීම යෝග්‍ය බව සිය මතය වන බවයි,ජනාධිපතිවරයා ඉහත කී ගැසට් නිවේදනය මගින් කියා සිටින්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.