ඌව පළාත් මන්ත්‍රී සංයුතිය වෙනස් කළේ බලපෑම් මත - එජාප

15 ජූලි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 14:47 GMT

ආණ්ඩුවේ බලපෑම් මත මැතිවරණ දෙපාර්තමේන්තුව ඌව පළාතේ මන්ත්‍රීධුර සංයුතිය වෙනස් කිරීමට ක්‍රියා කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය නගන චෝදනාව මැතිවරණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කරයි.

එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී බදුල්ල දිස්තික්කයේ තම පක්ෂයට වාසිදායක තත්වයක් ඇතිවී ඇති නිසා එහි ආසන තුනක් අඩු කර මොණරාගල දිස්ත්‍රික්කයට එක් කිරීමට ආණ්ඩුව, මැතිවරණ දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කර ඇති බවටයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරන්නේ.

නීති පද්ධතිය

පළාත්වල මන්ත්‍රී ධුර සංයුතිය ආදිය ගණන් බැලීමේදී මැතිවරණ කොමසාරිස්වරයා ක්‍රියා කරන්නේ ඒවාට අදාළ නීති පද්ධතියට අනුකූලව බව මැතිවරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ආණ්ඩුවේ බලපෑම් උඩ ඌව පළාතේ මන්ත්‍රී ධුර සංයුතිය වෙනස් කිරීමට තීරණය කර ඇති බවට එල්ලවන චෝදනාව ප්‍රතික්ෂේප කල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහමඩ් පැවසුවේ එවැනි බලපෑම් උඩ ක්‍රියාකිරීමට කිසිදු හැකියාවක් තම දෙපාර්තමේන්තුවට නොමැති බවයි.

" අදාළ පනත අනුවයි කරන්න ඕනැ, පනතෙන් ඔබ්බට ගිහිල්ලා කරන්න බැහැනේ, පනතේ විධිවිධාන අනුව තමයි මැතිවරණ කොමසාරිස්වරයාට කටයුතු කරන්න පුළුවන්," ඔහු පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂයට අනුව බදුල්ල දිස්තික්කයේ ආසන ප්‍රමාණය 21 සිට 18 දක්වා අඩුකිරීමටත්, මොණරාගල දිස්ත්‍රික්කයේ ආසන සංඛ්‍යාව 11 සිට 14 දක්වා වැඩිකිරීමටත් මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු යොදමින් සිටියි.

මැතිවරණ දෙපාර්තමේන්තුව පවසන්නේ මන්ත්‍රීධුර සංඛ්‍යාව පිළිබඳ අවසන් නිවේදනය ඌව පළාත් සභාවට නාම යෝජනා කැඳවන ගැසට් පත්‍රයෙන් දැනුම් දෙන බවයි.

"ජනගහනයෙන් 40000 ට එකක් බැගින්ද, එක් එක් දිස්තික්කයේ වර්ග ප්‍රමාණයේ කිලෝ මීටර් 1000 ක වර්ග කිලෝ මීටරයකට එක මන්ත්‍රීවරයෙක්ද වශයෙන් ගන්න බැලිය යුතුයි " නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහමඩ් මන්ත්‍රීධුර තීරණය කරන ආකාරය පිළි බඳව සංදේශයට පැහැදිලි කිරීමක් කරමින් පැවසුවේය.

පැහැදිලි සැකයක්

මැතිවරණ දෙපාර්තමේන්තුව එසේ සඳහන් කළත් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ මෙම ආසන සංයුතිය මාරු කිරීම ගැන පැහැදිලි සැකයක් ඇතිවී තිබෙන බවයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වැළැක්වීමට මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇති බවට සැක මතු වන බවයි.

" බදුල්ලේ එක නියෝජිතයෙක් යවන්න ඡන්ද 45000 ක් අවශ්‍යයි, මොනරාගලින් ඡන්ද 32000 කට නියෝජිතයෙක් පත් කරන්න පුළුවන්, මේකද ප්‍රජාතන්ත්‍රවාදය? මැතිවරණ කොමසාරිස් මේ වගේ දේවල් යෝජනා කරපුවාම මැතිවරණ කොමසාරිස් ගැන විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්ද ?" ඔහු ප්‍රශ්න කරන්නේය.

එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් කරුණු විමසු අවස්ථාවේදී නීතිපතිගේ උපදෙස් පතන බවට මැතිවරණ කොමසාරිස්වරයා කළ බව පැවසෙන ප්‍රකාශයක් ගැනත් ඔහු අදහස් පල කළා.

" මේ රටේ අධිකරණ අමාත්‍යංශය යටතේ සිටි නීතිපති දැන් ඉන්නේ ජනාධිපතිවරයා යටතේ, ඉතින් අපිට ඒකෙත් විශ්වාසය ගැන ප්‍රශ්නයක් තියෙනවා, ජන්දෙන් දිනන්න බැරි වෙනකොට විවිධ උපක්‍රම යොදනවා පළාත් සභාව දිනන්න," ඔහු ප්‍රකාශ කළේය.

සීමා නිර්ණය කිරීමේ කමිටුව

එක්සත් ජාතික පක්ෂය නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ පසුගිය පළාත් සභා මැතිවරණවලදීත් එලෙස සංයුතීන්හි වෙනස්වීම් සිදුවුණු බවයි.

"මධ්‍යම පළාත් සභාවේත් ඕක වුනා, නුවර එළියෙන් අඩු වුණා - මාතලෙන් වැඩිවුණා. ඒක ජනගහනයත් එක්ක වෙන වෙනසක්. සීමා නිර්ණය කිරීමේ කමිටුවෙන් තීන්දු කරනවා ජනගහනයේ ප්‍රසාරණය අනුව ඒක වෙනස් කරන්න"

ආසන සංයුතිය වෙනස් කර ජයග්‍රහණය කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නැතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

" ඕක කොහොම කළත්, ආපහු එහාට මෙහාට දැම්මයි කියල කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලයි අපේ අදහස," ඔහු තවදුරටත් පැවසුවේය.

ඌව පළාතේ මහ ඇමති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිත අතර ආණ්ඩු පක්ෂයේ මහ ඇමති අපේක්ෂකයා ලෙස ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමති සශින්ද්‍ර රාජපක්ෂ මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නියමිතයි.

--