ලිංගික අතවර කළ භික්ෂුවට වසර 21 ක සිර දඩුවමක්

  • 15 ජූලි 2014

ලිංගික අතවර චෝදනාවලට වරදකරු වූ පරිවේනාධිපති භික්ෂුවකට වසර 21 ක සිර දඬුවමක් නියම කෙරේ.

එහෙත් එම සිර දඬුවම වසර 7 කදී ගෙවී යන ආකාරයට නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සින්ගප්පුලි විසින්.

අධි චෝදනා තුනක්

දහතුන් හැවිරිදි සාමණේර හිමි නමකට ලිංගික අතවර කළ බවට පරිවේනාධිපති භික්ෂුව අධි චෝදනා තුනකට වරදකරු විය .

එක චෝදනාවකට වසර හත බැගින් බරපතළ වැඩ ඇතිව විසි එක් අවුරුදු සිරදඬුවමක් රත්නපුර මහාධිකරණ විනිසුරු අචල සින්ගප්පුලි විසින් නියම කෙරිණ.

එසේම වන්දි වශයෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් පැමිණිලි පාර්ශවයට ගෙවන ලෙසටද නියම කරන ලදී.

2003 මාර්තු මස 17 දින හෝ ඊට ආසන්න දිනයකදී කුරුවිට පැරඩයිස් පිරිවෙනේ දී මෙම ලිංගික අතවරය සහ අපයෝජනය කල බවට වරදකරු වුයේ එම පිරිවෙනේ පරිවේනාධිපති බලන්ගොඩ විජයනාග නමැති භික්ෂුවයි.

දීර්ඝ නඩු විභාගය

2009 වසරේ අධි චෝදනා බාරදීමෙන් පසු දීර්ඝ නඩු විභාගයකින් පසු විත්තිකාර භික්ෂුව වරදකරු කරන ලදී.

අපයෝජනයට ලක්වූ පැමිණිලිකාර සාමණේර නම පසුව සිවුරු හැර තීන්දුව දෙන විට විසි හය වැනි වියේ පසුවූ තරුණයෙක් විය.

අධිකරණය එක් අධි චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් පැමිණිලි පාර්ශවයට ගෙවන ලෙසද විත්තිකාර භික්ෂුවට නියම කළේය.

වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකර ගන්නා ලෙසත් දඩය ද නොගෙවන්නේ නම් එක් අධි චෝදනාවකට මාස අට බැගින් වසර දෙකක අනිවාර්ය සිර දඬුවමක් ද මහාධිකරණය විසින් විත්තිකාර භික්ෂුවට නියම කරන ලදී.