රාජ්‍ය නොවන සංවිධාන ගැන 'අලුත් නීතියක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 14 සඳුදා - 17:14 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

රාජ්‍ය නොවන සංවිධාන ආරක්ෂක අමාත්‍යංශයේ පාලනයට නතු කිරීමේ වෑයම පිටුපස යටි අරමුණක් තිබෙන බවට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෝ සැක පහල කරති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

රාජ්‍ය නොවන සංවිධාන ගැන 'අලුත් නීතියක්'

00:04:02

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන සියලු රාජ්‍ය නොවන සංවිධාන, ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වන රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරෙන නව නීතියක් සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කොට තිබේ.

පසුගිය කාලය තුල දී රාජ්‍ය නොවන සංවිධාන විදේශ මුදල් යොදා ගනිමින් විවිධ අකටයුතුකම් වල යෙදී තිබෙන නිසා ඒවා නිසි විගණනයකට යටත්ව වගකිවයුතු ආකාරයට පවත්වා ගෙන යාමේ අවශ්‍යතාව මත මෙම තීරණය ගත් බව රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සංදේශයට පැවසීය.

'රාජ්‍යයන් පෙරළන්න, වැරදි මතවාද ගොඩනගන්න ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා'

නව නීති මගින් රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු පාලනය කර ඔවුන්ට තහංචි පැනවීමක් සිදු විය හැකි බවට කෙරෙන චෝදනා ප්‍රතික්‍ෂේප කළ අමාත්‍යවරයා: "රාජ්‍යයන් පෙරළන්න, වැරදි මතවාද ගොඩනගන්න යම් පිරිස් ක්‍රියාත්මක වෙන අවස්ථා ලෝක ඉතිහාසයේ සහ වර්තමානයේ අපි දකිනවා. ඒ නිසා රටක් ලෙස වගකීමක් තියෙනවා ඒ සංවිධානවල ක්‍රියාකාරකම් මොනවද කියලා දැන ගන්න. මොනවටද මේ මුදල් වියදම් කරන්නේ, කාටද මේකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ කියන දේ දැන ගැනීමට රාජ්‍යයට අයිතියක් තියෙනවා," යනුවෙන් සඳහන් කළේය.

'යටි අරමුණක්'

දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන කිසිදු නීති පද්ධතියකට යටත් නොවී කටයුතු කළ කාලයක් ශ්‍රී ලංකාවේ පැවති බව සඳහන් කළ අමාත්‍යවරයා, යුද්ධය සමයේ ඇතැම් සංවිධාන ක්‍රියා කළ ආකාරය සැලකිල්ලට ගෙන ඔවුන් පාලනය කිරීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාව මතු වූ බව පවසයි.

එහෙත් රාජ්‍ය නොවන සංවිධාන ආරක්ෂක අමාත්‍යංශයේ පාලනයට නතු කිරීමේ උත්සාහය තුල වෙනත් අරමුණක් ඇති බවයි, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියෙකු වන නීතිඥ ජේසී වැලිඅමුණ පවසන්නේ.

'රාජ්‍ය නොවන සංවිධානවලට වැඩ කිරීමට ඇති අයිතිය සීමා කිරීමටයි රජය සුදානම් වෙන්නේ'

"සිවිල් සංවිධාන යම්කිසි නියාමනයක් සඳහා යොමු කරන්නේ නම් ඒ සඳහා ලෝකය පිළිගත් සිද්ධාන්ත තිබෙනවා. විශේෂයෙන් කෙටුම්පතකට අවශ්‍යයි රාජ්‍ය නොවන සංවිධානවලට ක්‍රියාශීලී ලෙස තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන්න පුළුවන් පසුබිමක් සකස් කරන්න. එහෙම නොවේ නම් ඒ කෙටුම්පත රටේ ප්‍රගමනයට හා කීර්ති නාමයට බාධාවක් වෙනවා," යනුවෙන්ද නීතිඥ වැලිඅමුණ පැවසීය.

රාජ්‍ය නොවන සංවිධාන නිසි විගණනයකට ලක් නොකෙරෙන බවට ආණ්ඩුව නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන නීතිඥවරයා: "සමාගම් පනත යටතේ තියෙන සංවිධාන ඒ තිබෙන රෙගුලාසිවලට අනුව සුවිශේෂී ලෙස වරළත් ගණකාධිකාරීවරයකු යටතේ වාරණයට ලක් වෙනවා. රජයේ බලාපොරොත්තුව තමයි ඔවුන්ට අවශ්‍ය විදිහට ක්‍රියාත්මක වන තැනකට රාජ්‍ය නොවන සංවිධාන ගෙන යාම. රාජ්‍ය නොවන සංවිධානවලට වැඩ කිරීමට ඇති අයිතිය සීමා කිරීමටයි රජය සුදානම් වෙන්නේ," යනුවෙන් වැඩි දුරටත් පවසයි.

ආණ්ඩු පෙරලීමට හෝ වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නොවන සංවිධානවලට කිසිදු විදේශ රටක් ආධාර ලබා නොදෙන බව නීතිඥ වැලිඅමුණ අවධාරණය කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.