පළාත් සභාවට තරඟ කිරීමට ඉල්ලා අස් වෙනවා - හරීන්

13 ජූලි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 13:25 GMT

ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත ඌව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස් වන බව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසයි.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමඟ පැවැත්වෙන සාකච්ඡා 'සියයට අනූවක්ම' අවසන් බවයි, බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේ.

ලබන සතිය වන විට ඒ පිලිබඳ අවසාන තීන්දුව ගැනීමට නියමිත බව සඳහන් කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, එය පක්ෂය විසින් තමන්ගෙන් කරන ලද ඉල්ලීමක් බවද කියා සිටියේය.

'පළාත් සභා ඉල්ලන්න පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙන්නේ ඕන. වෙන විකල්පයක් නෑ'

"පළාත් සභා ඉල්ලන්න පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙන්නේ ඕන. වෙන විකල්පයක් නෑ," යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

'දේශපාලනයෙන් සමු ගන්නවා'

මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නිර්දේශය පරිදි ආණ්ඩුකාර සී නන්ද මැතිවු විසින් ඌව පළාත් සභාව පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හරින ලදි.

පළාත් සභා මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනෙන දින සහ මැතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

එළැඹෙන මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කය ජය්රහණය කිරීම හැකි වනු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවද හරීන් මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේය.

මැතිවරණය ඉලක්ක කර ගෙන ආණ්ඩුව 'දන්සැල් ක්‍රමවේදයක්' ආරම්භ කොට තිබෙන බවට එජාප මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කරයි.

එම චෝදනා පිළිබඳව විමසීම පිණිස මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

ජනාධිපතිවරයාගේ පුතුන් සමඟ රාත්‍රී සමාජ ශාලාවල ගැවසෙන බවට වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර දෙරණ වාද පිටිය වැඩසටහනේදී කරන ලද චෝදනාව පිළිබඳව විමසූ අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපති පුතුන් හෝ ආණ්ඩුව සමඟ ඕනෑම රහසිගත ගනුදෙනුවක් තිබෙන බව සනාථ කළහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවයි.