ජී.එල්. - සුස්මා සාකච්ජා

  • 11 ජූලි 2014

ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුස්මා ස්වරාජ් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමති මහාචාර්ය ජී. එල්.පීරිස් අතර කරුණු ගණනාවක් ඔස්සේ සාකච්ජා පැවැත්වුන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයීඩ් අක්බරුදීන් පැවසුවේ දෙරට අතර වෙළෙදාම, ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩසටහන ඇතුළු කරුණු ගණනාවක්ම සාකච්ඡාවට ලක්වූ බවයි.

ආයෝජන

ශ්‍රී ලංකාව හයිද්‍රාබාද් ප්‍රාන්තයේ ඩොලර් කෝටි සියයක ආයෝජන ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවත් ඔහු පැවසුවේය.

එසේම ඉන්දියාවද ශ්‍රී ලංකාවේ ඊට සමාන වටිනාකමක් ඇති ආයෝජන ආරම්භ කිරීම පිළිබඳවද සාකච්ඡා කළ බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේ.

වගවීම් සොයා බැලීම සහ සංහිඳියාව ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාතික මට්ටමින් ගන්නා උත්සාහයන් ගැනද සාකච්ඡා කළ බව ඔහු පැවසුවේය.

මානව හිමිකම්

මානව හිමිකම් කඩවීම් පිලිබඳව සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට සූදානමක් ඇති නිසා ඒ ගැන සාකච්ඡා කළේද යන ප්‍රශ්නය යොමු කළ විට අමාත්‍යංශයේ ප්‍රකාශක සයීඩ් අක්බරුදීන් පැවසුවේ ඉන්දියාවේ ස්ථාවරයේ වෙනසක් නැති බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ආ අවස්ථාවේදී ඉන්දියාව ජන්දය දීමෙන් වැළකී සිටි බව ඔහු සිහිපත් කළේය.

ජාත්‍යන්තර සංවිධාන මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අදාළ රටවල් සමඟ සහයෝගයෙන් ඒවා විසඳිය යුතු බවත් දඬුවම් පැමිණවීමේ අදහසින් එම ක්‍රියාවලිය සිදු නොකළ යුතු බවත් ඔහු කියා සිටියේය.

ධීවර ප්‍රශ්නය

අත් අඩංගුවට පත්වන ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට ශ්‍රී ලංකාව කඩිනම් පියවර ගැනීම පැසසුමට ලක්වූ බවයි, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කලේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයීඩ් අක්බරුදීන් පැවසුවේ.

ඊට අදාළ ගැටලු විසඳා ගැනීමට දෙරට දිගටම සාකච්ඡා පවත්වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.