ලෙස්ටර් නම් වූ නිධානය 2

6 ජූලි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 12:55 GMT

1956 ශ්‍රී ලංකාවට දේශපාලනමය, සමාජීමය හා සංස්කෘතිකමය වශයෙන් වැදගත් වූ අනභිභවනීය වසරකි.

මාටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නව කතාවේ ප්‍රථම අදියර ‘ගම්පෙරළිය' පළ වීම, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' නාටකය බිහි වීම, චිත්‍රසේනයන්ගේ ‘කරදිය' මුද්‍ර නාටකය බිහි වීම, ජෝර්ජ් කීට්ගේ මනරම් ප්‍රඥාගෝචර චිත්‍ර කලාව මේ ඈ වශයෙන් ප්‍රබෝධාත්මක සුභවාදී අනන්ත අප්‍රමාණ ප්‍රවණතා රැසකින් මෙකී 1956 වසර දිදුලින. එය වූ කලි හුදු ජාතික අනන්‍යතාවයක් සෙවූ ජාතියක පෙරටුගාමී ව්‍යායාමයක් පමණක් නොව එය කලාව හා සංස්කෘතිය අරභයා වූ සුවිපුල් විදග්ධ මනස් පෙරළියක්ම විය.

හතරැස් අච්චුව

1947 වසරේ 'කඩවුනු පොරොන්දුව' කතා නාද චිත්‍රපටයෙන් ඇරඹි සිංහල සිනමාව එතෙක් හිර වී තිබූ හරි හතරැස් අච්චුවෙන් මුදවාලීමේ හැරවුම් 'රේඛාව' සිංහල සිනමාවකාශයේ ඉරණම් රිදී රේඛාවක්ම විය (Line of destiny).

රේඛාව

'සිංහල සිනමාව එතෙක් හිර වී තිබූ හරි හතරැස් අච්චුවෙන් මුදවාලීම'

1956 වසරේදී සිංහල සිනමාවට නව මං පෙතක් හෙළිදරව් කරමින් ශ්‍රී ලාංකේය සිනමාවේ මුදුන් මල්කඩ බඳු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ස්වකීය සමකාලීනයන් වූ විලී බ්ලේක් කැමරා අධ්‍යක්ෂණයෙනුත්, ටයිටස් තොටවත්ත කලා අධ්‍යක්ෂණයෙනුත්, මර්සිලීනු ජයකොඩි පියනම ගේය පද රචනයෙනුත්, බී.එස්. පෙරේරා සංගීත අධ්‍යක්ෂණයෙනුත්, සුනිල් ශාන්තයන් තනු සම්පාදනයෙනුත් දායකව ‘රේඛාව' චිත්‍රපටය සිංහල සිනමාවට තිළිණය කරන ලදී. එවක් පටන් අද දක්වා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අදියුරාණන් හා ශ්‍රී ලාංකේය සිනමාව හා පවතින්නේ අවියෝජනීය සම්බන්ධතාවකි.

ශ්‍රී ලාංකේය සිනමාවේ නිධානය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යන්න අවිවාදිතය.

මේ සතියේ සිට ශ්‍රී ලාංකේය සිනමාවේ නිධානයෙන් මිණිකැට කීපයක් අපි ඔබට තිළිණ කරන්නෙමු.