මුලතිවු අතුරුදහන්වූවන් පිලිබඳ පරීක්ෂණ ඇරඹෙයි

  • 5 ජූලි 2014

දිනසේන රතුගමගේ මුලතිවු සිට

යුදසමයේදී අතුරුදහන් වු පුද්ගලයින් පිළිබදව කරුණු සොයා බැලීම පිණිස ජනාධිපතිවරයා විසින් පත්කරණ ලද විශේෂ කොමිසම පස්වෙනි සෙනසුරාදා මුලතිවු පුදුකුඩීරිප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යලයේදී සාක්කි සටහන් කරගැනීම ආරම්භ කෙරිණ.

මුලතිවු දිස්ත්‍රික්කයේ තම ඥාතීන් අතුරුදහන් වී ඇති බවට කොමිසම වෙත තොරතුරු ලබා දුන් පවුල් 230 කට කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණෙන ලෙස ලිපි යවා ඇතත්, පලමු දිනයේම ලිපි නොලැබුණු සියයකට වැඩි පිරිසක් කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණ සිටීම නිසා නිලධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටියහ.

කොමිසම මුලතිව් දිස්ත්‍රික්කයේදී දින හතරක කාලයක් රැස්වන බැවින් සාක්කි ලබාදීමට පැමිණෙන සියලුම දෙනාට ඒ සදහා අවස්ථාව සලසා දිය හැකි බව කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස බී.බී.සී. සංදේශයට ප්‍රකාශ කළ අතර 5,6,යන දිනවලදී මුලතිවු, පුදුකුඩීරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත්,7 සහ 8 යන දිනවලදී මුලතිවු, මැරිටියන්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත් රැස්වී සාක්කි සටහන් කර ගන්නා බවද ඔහු පැවසීය.

කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරාක්‍රම පරණගම ඇතුලු කොමිසමේ නිලධාරීන්ට සහාය පිණිස මුලතිවු දිසාපති නාගලින්ගම් වේදනායගම් ඇතුලු මුලතිවු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.

මවුවරු හඩා වැලපෙති

කොමිසම හමුවේ පළමු දිනයේදී සාක්කි දීමට පැමිණි මුලතිවු දිස්ත්‍රික්කයේ වැසියන්ගෙන් විශාල පිරිසක් පැවසුවේ අවසන් යුදගැටුම් පැවති දින කීපයේදී ජීවිතය ගලවා ගැනීමට මුලතිවු කලපුව ඔස්සේ ගොඩබිම දෙසට යමින් සිටි විශාල පිරිසක් මේ වනතුරු තමන්ට යළි දැක ගැනීමට නොහැකි වූ බවයි.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සාමජිකයින් පැමිණ එක් පවුලකකින් එක් සාමාජිකයෙකු තම සංවිධානයට ලබාදෙන මෙන් කළ ඉලීමට අනුව ඔවුන් වෙත බාරදෙන ලද විශාල පිරිසක් යළි ආපසු දැකගන්නට නොලැබුනේ යැයිද, ඒ අන්දමටම යුද හමුදාව ඇතුලු ආරක්ෂක අංශ කටඋත්තරයක් ලබාගැනීම පිණිසයැයි කියමින් රැගෙන ගිය තම ඥාතීන් විශාල පිරිසක් මෙතෙක් ආපසු පැමිණියේ නැතැයිද කොමිසම හමුවේ ඔවුහු කියා සිටියහ.

ඥාතීන් අතුරුදහන් වී වසර ගණනාවක් ගොස් තිබුනද අතුරුදහන් වූ ඥාතීන් ගැන කොමිසම හමුවේ සාක්කි දෙන ලද අවස්ථාවේදී සිය දුක වාවා ගැනීමට නොහැකිව බොහෝ මවුවරු හඩා වැලපෙන්නට වූහ.