ශ්‍රී ලංකාවේ බදු ආදායමේ සියයට 15.6 අඩුවීමක්

  • 2 ජූලි 2014

ශ්‍රී ලංකාවේ බදු ආදායම මේ වසරේ මුල් කාර්තුව තුල අපේක්ෂිත ඉලක්කයට වඩා සියයට 15 කට වැඩියෙන් අඩුවී ඇතැයි මුදල් අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.

අප්‍රේල් මාසය වන විට බදු ආදායමින් රුපියල් බිලියන 368 ඉපයීමට තක්සේරු කොට තිබුනත් උපයා ගැනීමට හැකිවී ඇත්තේ රුපියල් බිලියන 311 කට ආසන්න මුදලක්.

මෙය සියයට 15.6 අඩුවීමක් බවයි මුදල් අමාත්‍යාංශ වාර්තාවක් පවසන්නේ.

අපේක්ෂිත ඉලක්කය

නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය සරත් අමුණුගම කියා සිටින්නේ වසර අවසානයේදී අපේක්ෂිත ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය යටතේ වෙනත් වසර වලට වඩා ඉහල මට්ටමකින් අපේක්ෂිත ඉලක්ක තබා ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

“පළමුවැනි කාර්තුවේ පොඩි පොඩි වෙනස්කම් තිබුනත් අපි බලාපොරොත්තුවෙනවා වර්ෂය අවසන් වන විට ඉලක්කවලට යන්න පුළුවන්වෙයි කියල,”ඔහු සඳහන් කළේය.

රජය විසින් ගන්නා ලද සමහර ප්‍රතිපත්තිමය තීන්දු ඊට බලපා ඇති බවයි ඇමතිවරයා සඳහන් කළේ.

උදාහරණ වශයෙන් පාවිච්චි කළ වාහන සහ සුඛෝපභෝගී වාහන ආනයනයට පනවා ඇති නව රෙගුලාසි හේතුවෙන් එම ව්‍යාපාරිකයන්ගේ ආදායම් අඩුවී තිබෙන බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

නමුත් වර්ෂය අවසන්වන විට වෙනත් අදායම් මාර්ග වැඩිවීමෙන් බදු අය කිරීම් වැඩිවී හතරවන කාර්තුවේදී බදු ඉලක්ක කරා ලඟා විය හැකි බවට ඔහු විශ්වාසය පළ කළේය.

ආදායම් බදු සහ වැට් බදු

ආදායම් බදු සහ වැට් බදු අඩුවී ඇති බවත් වාර්තාවේ සඳහන් වෙයි.

එසේම ආර්ථික ක්‍රියාකාරකම්වල වැඩිවීමක් දකින්නට නැති බවත් එහි දක්වා ඇති බව පෙන්වා දුන් විට නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය සරත්අමුණුගම පැවසුවේ බදු අය කිරීමේ ජාලය තවමත් සියයට සියයක්ම ක්‍රියාත්මක නොවන බවයි.

එය සකස් කළ විට දැනට වඩා බදු ආදායමේ වර්ධනයක් දක්නට හැකිවෙනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.

බැංකු ක්‍රමය ලිහිල් කොට ඇති බව පැවසූ ඇමති ආචාර්ය සරත් අමුනුගම ඉන් දේශීය ව්‍යාපාරිකයන්ට රුකුලක් ලැබෙන බවයි කියා සිටියේ.

ආයෝජන

එසේම ඍජු විදේශ ආයෝජන මගින් මේ වසර තුළ රුපියල් බිලියන එක හමාරක් පමණ ලැබෙන බව සඳහන් කළ ඔහු සංචාරක ව්‍යාපාරය තුළින් ඉදිකෙරෙන හෝටල් ක්ෂේත්‍රය මගින්ද ඉපදවෙන බදු ආදායම ගැන බලාපොරොත්තු පළ කළේය.

බැංකු පොලී අනුපාත ලිහිල් කළද විශ්වාසය බිඳ වැටීම නිසා ව්‍යාපාරිකයන් ආයෝජන ආරම්භ කිරීමට මැලිකමක් දක්වන බවට විශ්ලේෂකයන් අදහස් දක්වා ඇති බව පෙන්වා දුන් විට ඇමතිවරයා පැවසුවේ එසේ විවේචන එල්ලවුවත් රටේ ආයෝජන ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙන බවයි.

ජාත්‍යන්තර ප්‍රශ්නවලට පවා මුහුණ දීමට සිදුවුනත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙහෙයවන ආකාරයට එය අර්බුදයක් ලෙස නොදකින බවත් නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය සරත් අමුණුගම ප්‍රකාශ කළේය.