ගෝඨාභයත් බොදු බල සේනාවත් අතර 'සම්බන්ධයක් නෑ'

  • 2 ජූලි 2014
'මේ පැහැදිලි කිරීම කරන්නේ ආරක්ෂක ලේකම්වරයා අලුත්ගම සිද්දියට සම්බන්ධ බවට චෝදනා කරන නිසා'

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බොදු බල සේනා සංවිධානයේ කිසිදු වැඩසටහනකට සහභාගි වී නැතැයි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

පසුගිය වසරේ මාර්තු මාසයේ ගාල්ලේ පැවති මෙත්සෙවණ නම් ආයතනයක් විවෘත කිරීමේ උත්සවයට ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ වීම, ඔහු සහ බොදු බල සේනාව අතර බැඳීමක් තිබෙන බවට චෝදනා එල්ල වීමට හේතු වූ බවයි, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ.

බොදු බල සේනාවේ භික්ෂූන් වහන්සේ එම වැඩසටහනට සහභාගි වී සිටියත් ආරක්ෂක ලේකම්වරයා එයට සහභාගි වූයේ පිළිගත් ස්වාමීන් වහන්සේ නමක් වන කිරම විමලජෝති හිමියන්ගේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ලද ආරාධනාව අනුව පමණක් බව ද බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේය.

"එදා ඒ උත්සවයේ ගත්ත ඡායාරූප තමයි උපයෝගී කරගන්නේ මේ ආරක්ෂක ලේකම්වරයා සහ බොදු බල සේනා සංවිධානය අතර සම්බන්ධතාවයක් තියෙන බවට මතයක් ඇති කරන්න. ඒක පදනම් විරහිත මතයක්," යනුවෙන්ද ඔහු පැවසීය.

අලුත්ගම ගැටුමෙන් පසු

මෙත්සෙවණ බොදු බල සේනා සංවිධානයට අයත් ආයතනයක් බවට ජනමාධ්‍ය වාර්තා සඳහන් කළ බව පෙන්වා දුන් අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කළ හමුදා ප්‍රකාශකවරයා පැවසුවේ බොදු බල සේනාවේ හිමිවරුනුත් එම ස්ථානයට පැමිණ සිටියේ ආරාධනාවක් අනුව බවයි.

එහෙත් මෙත්සෙවණ මධ්‍යස්ථානයේ හිමිකාරත්වය සම්බන්ධයෙන් හටගත් මතභේදයක් හේතුවෙන්, වහාම එයින් ඉවත්වන ලෙස පසුගිය වසරේ මාර්තු 29 වන දින ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බළ සේනාවට නියෝග කළේය.

බොදු බල සේනාවට සහාය දෙන බවට සහ ආරක්ෂා කරන බවට ආරක්ෂක ලේකම්වරයාට චෝදනා

ආරක්ෂක ලේකම් වැනි රටේ ඉහල පුරවැසියෙක් ආරාධනාවක් භාර ගැනීමට ප්‍රථම ඒ පිළිබඳව සොයා නොබලන්නේ මන්ද යන්න සංදේශය බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියට යොමු කළ ප්‍රශ්නයක්.

"දැන් ඔබට මගුල් ගෙදරකට එන්න කිව්වම ඔබ බලනවද ඒ මගුල් ගෙදර තියන්නේ කොහොමද, ණයක් අරන්ද මේක කරන්නේ, නැත්නම් ඒගොල්ලන්ගෙම මුදලින්ද කියලා?. එහෙම වුනොත් අපිට හම්බවෙන ආරාධනා ගොඩකට අපිට යන්න වෙන්නේ නැහැ," යන්න ඒ ප්‍රශ්නයට හමුදා ප්‍රකාශකවරයා පළ කළ ප්‍රතිචාරයයි.

මේ පිළිබඳව පසුගිය වසර පුරාවටම පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප නොකළ ආරක්ෂක අමාත්‍යාංශය, ආරක්ෂක ලේකම්වරයා පසුගිය වසරේ බොදු බල සේනා සංවිධානයේ වැඩසටහනකට සහභාගී නොවූ බවට අලුත්ගම ගැටුමෙන් අනතුරුව ප්‍රකාශ කිරීමට පෙළඹුනේ ඇයිද යන්න සංදේශය මතු කළ තවත් ප්‍රශ්නයක්.

"අපි ඒවා අලුයම ඉවතලූ කෙල පිඬක් සේ ඉවත දැම්මා. නමුත් දැන් මේ පැහැදිලි කිරීම කරන්නේ ආරක්ෂක ලේකම්වරයා අලුත්ගම සිද්දියට සම්බන්ධ බවට ඉඳුරාම චෝදනා කරන නිසා."

'ආණ්ඩුවේ අනුග්‍රහය'

තමාගේ උත්සාහය බොදු බල සේනාව හෙළා දැකීම නොව ආරක්ෂක ලේකම්වරයා සහ ඔවුන් අතර සම්බන්ධයක් පවතින බවට පැතිර යන මතය නිවැරදි කිරීම පමණක් බව බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය අවධාරණය කළේය.

එහෙත් බොදු බල සේනා සංවිධානය කි‍්‍රයාත්මක වන්නේ ආණ්ඩුවේ අනුග‍්‍රහය යටතේ බවට ජනතා විමුක්ති පෙරමුණ යලිත් වරක් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

ආරක්‍ෂක ලේකම්වරයාගේ හා ආරක්‍ෂක අංශවල අනුග‍්‍රහය ඔවුන්ට ලැබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කළේ, තමන් වරදක් කර ඇත්නම් අත් අඩංගුවට ගන්නා මෙන් බොදු බල සේනාව කරන ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින්.

"ආණ්ඩුව විසින් රකින ආයතනය ආණ්ඩුවට කියනවා පුළුවන් නම් අපිව ගන්න කියලා. හාමුදුරුවෝ අලුත්ගම කළ ප්‍රකෝපකාරී ප්‍රකාශයම ඇති ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න," යනුවෙන්ද ටිල්වින් සිල්වා පැවසීය.

රටේ ප‍්‍රශ්න යටපත් කිරීම උදෙසා ආණ්ඩුව මෙවන් සංවිධාන යොදා ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.