ලේ පූජාවක් කරන්න මට උවමනා නෑ - විජිත හිමියෝ

25 ජුනි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 19:10 GMT

තමන්ටම තුවාල සිදු කර ගෙන 'ලේ පූජාවක් කිරීමට' තමන්ට කිසිදු උවමනාවක් නොමැති බව පවසන ජාතික බල සේනාවේ නායක වටරැක විජිත හිමියෝ, පොලිසිය ඇතුළු බලධාරීන් එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරති.

තමන් වහන්සේ පැහැරගෙන ගොස්, පහරදී, අත පය බැඳ දැමීම "විදුලි කාන්දුවක් වැන්නක්" නොවන බව උත්ප්‍රාසයෙන් යුතුව සඳහන් කළ එහිමියෝ, බලධාරීන් තමන්ට බොරු චෝදනා නගද්දී ජනමාධ්‍ය විසින් තමන් ඝාතනය කරනු ලැබ ඇතැයිද සඳහන් කළහ.

"එදා ඉන්දියාවේ බමුණෝ අර ගෝ පූජාව, අජ පූජාව තිබ්බ වගේ මටත් මේ ලේ පූජාවක කර ගන්න වුවමනාවක් වුනේ නෑ," යනුවෙන් එහිමියෝ කියා සිටියහ.

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් පානදුර අධිකරණය ඉදිරියේදී ඒ බව සඳහන් කළේ ලබන ජුලි දෙවැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් අධිකරණය විසින් නියෝග කිරීමෙන් අනතුරුව එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

'මාධ්‍යවල පට්ට බොරු'

රෝහල්ගත වීමෙන් අනතුරුව තමන් වහන්සේ මාධ්‍යවලට කිසිදු ප්‍රකාශයක් ලබා නොදුන් නමුත් බදාදා බොහෝ පුවත්පත්වල තමන් වහන්සේ උපුටා දක්වමින් "පට්ට බොරු" ලියා ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

"එකක් කියන්න තියෙනව මට තෙලපත්ත ජාතකය වගේ. අරමුණ ඉටු වෙනකම්, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සාමය, සංහිඳියාව ඒ අරමුණ ඉටු කරන කම් මම මගේ ගමන ඉදිරියටම යනවා," යනුවෙන්ද එහිමියෝ පැවසූහ.

"උන්මත්තක ජාතිවාදීන් මගේ ලේ හොල්ලද්දී," ජනමාධ්‍ය තවත් බොහෝ දෙනා සමඟ එකතු වී තමන් වහන්සේ ඝාතනය කොට තිබෙන බවද වටරැක විජිත හිමියෝ කියා සිටියහ.

සිංහල සහ මුස්ලිම් ජනතාව අතර අලුත්ගම දී ගැටුම්වලට අනුබල දුන් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහසේ සිටියදී, ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි තමන් වහන්සේ සිරකුටියට යැවුණු බවත් එහිමියෝ කියා සිටියහ.

පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේදී වටරැක විජිත හිමියන්ට ඇප ලබා දීමට පොලිසිය කිසිදු විරෝධයක් නොදැක්වූ නමුත් එහිමියන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් අධිකරණය නියෝග කළ බවයි, එහිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී රුක්ෂාන් ඩයස් බීබීසී සංදේශයට කියා සිටියේ.

ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවට "බරපතල චෝදනාවක් කරමින්" එහිමියන් අත් අඩංගුවට ගත් පොලිසිය එහිමියන්ට ඇප ලබාදීමට විරෝධය පළ නොකිරීම මහේස්ත්‍රාත්වරයාගේ දෝෂ දර්ශනයට ලක් වූ බවද නීතිවේදී ලක්ෂාන් ඩයස් කියා සිටියේය.