'ශ්‍රීධරන්ට මරණ තර්ජන'

  • 22 ජුනි 2014
'මරණ තර්ජන එල්ල වුයේ රජයට සම්බන්ධ පිරිසකගෙන් බවට සැකයක්'

යම්කිසි පිරිසක් විසින් තමන්ට දුරකතන ඇමතුම් ඔස්සේ මරණීය තර්ජන එල්ල කරන බවට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විසි දෙවැනි දා කිළිනොච්චිය පොලිසියට පැමිණිලි කර ඇත.

පසුගිය දින වල මේ රටේ මුස්ලිම් වැසියන්ට සිදු වූ අසාධාරණකම් පෙන්වා දෙමින් රජයට එරෙහිව උද්ඝෝෂණය කිරීම නිසා තමන්ට මෙවැනි මරණීය තර්ජන එල්ල වූ බව මන්ත්‍රීවරයා පවසයි.

මුස්ලිම් වැසියන් වෙනුවෙන් පෙනී සිටින බව කියමින් තර්ජනය කළ පිරිස මරණීය තර්ජන එල්ල කළේ යැයි ද ඔහු පැවසීය.

'මරා දානවා'

මෙවැනි ක්‍රියා නතර නොකළොත් සතියක් ඇතුළත පැහැර ගෙන ගොස් මරා දමන බවට තමන්ට තර්ජනය කළ පිරිස කියා සිට ඇති අතර මේ පිලිබඳ කිළිනොච්චිය පොලිසියට පැමිණිලි කළ අවස්ථාවේ ලැබුණු දුරකතන වල අංක ද පොලිසියට ලබා දුන් බව මන්ත්‍රීවරයා දිනසේන රතුගමගේ කළ විමසීමකදී සඳහන් කළේය.

පොලිසියට පැමිණිලි කර විනාඩි කීපයකින් යළිත් තමන්ට පෙර පරිදි මරණීය තර්ජන එල්ල වීමත්, රජයට සම්බන්ධ කීපදෙනෙකුම ලැබුණු දුරකතන පණිවුඩ ගැන උවමනාවට වඩා තමන්ගෙන් විමසීම නිසාත්, මේ මරණීය තර්ජන තමන්ට එල්ල වුයේ රජයට සම්බන්ධ පිරිසකගෙන් බවට සැකයක් හටගෙන ඇති වගද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කිළිනොච්චිය පොලිසියේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කලේ මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලෙහි සඳහන් තොරතුරු අධිකරණයට ඉදිරිපත් කොට දුරකතන අංක හිමි පිරිස සොයා ඔවුන්ට දඬුවම් ලබා දෙන බවයි.