කටකතා පැතිරෙන්නේ 'වාර්තාකරණයක් නැති නිසා'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජුනි 22 ඉරිදා - 11:23 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

අලුත්ගම හා බේරුවල පැවති ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ධාරා වාරණයක නිරතවීම, කටකතා ශීඝ්‍රයෙන් පැතිරීමට තුඩු දුන් බව විශ්ලේෂකයෝ පවසති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

කටකතා පැතිරෙන්නේ 'වාර්තාකරණයක් නැති නිසා'

00:04:05

පසුගිය සතියේ අලුත්ගම හා බේරුවල ප්‍රදේශයන්හි පැන නැගුණ ගැටුම්කාරී තත්වය ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් වාරණයකට ලක් කරනු ලැබීම, අසා දැන ගත් තොරතුරු හා කටකතා ශීඝ්‍රයෙන් පැතිරීමට තුඩු දුන් බව ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ කර්තෘ සංජන හත්තොටුව පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ සියළුම මාධ්‍යයන් පාහේ පසුගිය පහළොස් වෙනිදා අලුත්ගම හා බේරුවල හට ගත් සිද්ධීන් කවර හෝ හේතුවක් යටතේ ස්වයං වාරණයකට ලක් කළ බවයි ඔහු පවසන්නේ.

එහෙත් එම ගැටුම් වාර්තා කළ ආකාරය 'පක්ෂග්‍රාහී' බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බීබීසී ඇතුළු අන්තර් ජාතික මාධ්‍යවලට ප්‍රබල විවේචන එල්ල වී තිබුණි.

ඇතැම්විට ගැටුම් සම්බන්ධයෙන් ස්වයං වාරණයක නිරතවීම ගැටුම් විසඳීමට උපකාරයක් විය හැකි නොවේද යන්න බීබීසී සංදේශය සමාජ මාධ්‍ය ජාල ප්‍රවීණයකු වන සංජන හත්තොටුවට යොමු කළ අවස්ථාවේයි, ඔහු ඒ බව කියා සිටියේ.

"ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙම ගැටුම් වාර්තා කිරීම සිදු නොකළේ ස්වයං වාරණයක්ද එහෙම නැත්නම් ඉහළින් ලැබුණු නියෝගයක් නිසාදැයි හරියටම කීමට බැරි වුනත් එසේ වාර්තා නොකරණ පසුබිමක් තුල වැරදි අදහස්, කටකතා වැනි දේ සමාජ ගත වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩියි," යනුවෙන් ඔහු කියා සිටියේය.

'වාර්තාකරුවන් බියෙන්'

"විශ්වසනීය වාර්තාකරණය ස්වයං වාරණයකට ලක් වූ විට ප්‍රවෘත්ති ග්‍රාහක ජනතාව අඩු විශ්වසනීයත්වයක් ඇති වාර්තාවන්ට යොමු වීම ස්වභාවිකයි. සමාජ මාධ්‍ය ජාල මගිනුත් මෙවැනි තහවුරු නොකළ පුවත් පැතිරෙන කොට සිද්ධ වන්නේ ප්‍රශ්නය වඩාත් බැරෑරුම් හා භයානක තත්වයකට පත් වීමයි," යනුවෙන් සංජන හත්තොටුව සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

"වාර්තාකරුවන් ස්වයං වාරණයකට යොමු වන්නේ අද රට තුල පවතින තත්වය සැලකිල්ලට ගෙන. මෙසේ වාර්තා කිරීම තුලින් ඔවුන්ට ක්ෂණිකව නොවුනත් දින ගණනකින්, සති කිහිපයකින් හෝ මාස කිහිපයකින් යම් තත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකියි. අතීතයේ දී තිස්සනායගම්, රුකී ප්‍රනාන්දු වැනි අය අත් අඩංගුවට පත් වුනේ ජනතාව කුපිත කිරීමට කටයුතු කිරීමේ චෝදනාව මත. මෙවැනි තත්වයක් යටතේ වාර්තාකරුවන් තමන්ගේ වාර්තාවන් පිළිබඳව දෙවරක් සිතා බලනවා," යනුවෙන්ද සංජන හත්තොටුව තවදුරටත් පැවසීය.

පක්ෂග්‍රාහී වාර්තාකරණය පිළිබඳ තවදුරටත් කරුණු දැක්වූ ඔහු: 'සමබර වාර්තාකරණයට ඉඩ ඇහිරුණු වටපිටාවක පක්ෂග්‍රාහී වාර්තාකරණයට දොස් පැවරිය නොහැකි' බව පවසයි.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මුළුමනින්ම නිහඬ කර, ගවේෂණාත්මක වාර්තාකරණයට වැට බැඳී ඇති සමාජ වටපිටාවක අනිවාර්යයෙන්ම වැඩිපුර දකින්නට ලැබෙන්නේ 'පක්ෂග්‍රාහී වාර්තාකරණ' බව පවසන ග්‍රවුන්ඩ්වීව්ස් වෙබ් අඩවියේ කර්තෘවරයා, විශ්වසනීයත්වයකින් යුතු වූ සමබර වාර්තාකරණයට ඉඩ හසර ලබා දීම මෙයට විසඳුම බවද සඳහන් කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.