‘ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නගමු’- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

21 ජුනි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:19 GMT

කොටි සංවිධානය විසින් ඉස්මතු කරන ලද වර්ගවාදය සහ බෙදුම්වාදය පරාජය කරනු ලැබීමෙන් අනතුරුව ක්‍රමයෙන් ස්ථාවර වූ ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව නැවත අනතුරට ලක් කිරීමේ උත්සාහයක් මතුව තිබීම පැහැදිළි යයි ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියි.

එමෙන්ම ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට මාන බැලූ ජාත්‍යන්තර බලවේග කීපයක් එම තත්වය ව්‍යාකුල කිරීමේ උත්සාහයක බලවත්ව යෙදී සිටින බව අමතක කළ යුතු නැතැයි ද ජනාධිපතිවරයා පවසයි.

“එම බැරෑරුම් තත්වය තේරුම් ගනිමින් සියලු ජාතීන් අතර මිත්‍රත්වය සහ සහජීවනය සඳහා කටයුතු කරන මෙන් මම සියලු සහෝදර රටවැසියාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි” යි ජනාධිපති මහින්ද රාජපක්ෂ අද සෙනසුරාදා ජාතිය අමතා කළ ප්‍රකාශනයෙන් කියැවුණි.

ප්‍රචණ්ඩත්වය වනචාරී ලක්ෂණයක්

ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, නීතිය අතට ගැනීමට කිසිවකුට ඉඩ නොදෙන අතරම නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මෙන් තමා පොලිසියට සහ ආරක්ෂක අංශවලට නියෝග කර ඇති බවයි.

රටේ සියලු දෙනාගේම අරමුණ විය යුත්තේ නූතන ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නැගීම වන බවත් ජනාධිපතිවරයා අවධාරනය කරයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය දේශනයේදී ප්‍රචණ්ඩත්වය විග්‍රහ කරන්නේ වනචාරී යුගයේ සංකේතයක් හැටියටයි.

“ජාතියක ශ්‍රේෂ්ටත්වය ගොඩනගා ගත හැක්කේ අනිකාට පහර දීම මත නොව අනිකාට ගරු කිරීම මත පමණක්” බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පෙන්වා දෙයි.