ආගම්වාදයට එරෙහි කලාකරුවන්ගේ පිබිදීමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජුනි 21 සෙනසුරාදා - 18:27 GMT

සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ

අලුත්ගම සහ බේරුවල යන ප්‍රදේශ අවට ඇති කරවන ලද අවාසනාවන්ත ජාතිවාදී උසිගැන්වීම්වලට නැවත ඉඩ නොතබන ලෙස වගකිවයුතු සියලුදෙනාගෙන්ම ඉතා කාරුණිකව ඉල්ලා සිටින බව කලාකරුවන් හා වියතුන් කණ්ඩායමක් ඉල්ලා සිටිති.

ජාතික සමගිය, සහෝදරත්වය, සහ සුහදශීලිත්වය ගොඩනැගීම් සඳහා කැපවෙන මෙන් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජන කණ්ඩායම් වලින් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටින බවත් එම කලාකරුවන් සහ වියතුන් කණ්ඩායම සිය අත්සනින් යුතු ප්‍රකාශනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිති.

ඔවුන්ගේ ප්‍රකාශනයට අත්සන් තැබූ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ බීබීසී සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේ,ජාතීන් අතර ඇති සමගියට අකුල් හෙලන මූලික වශයෙන් ගත් කළ ප්‍රබල ලෙස ජාතිවාදය පතුරුවන වැඩපිළිවලක් ටට තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවයි.

එය සංවිධානාත්මකව සිදු කෙරෙන නිසා තමන් ඇතුළු කලාකරුවන් කණ්ඩායමකට ප්‍රශ්නයට මැදිහත් වෙමින් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය වූ බවයි සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ ප්‍රකාශ කළේ.

අධිපතිවාදයේ සැලැස්මක්

'83 කළු ජූලිය' වැනි අත්දැකීම්වලින් සිදුවූ බලවත් විනාශය අප ඇත දැක ඇති සඳහන් කළ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ එවන් විනාශයක් නැවත ඇතිවීමට ඉඩ නොදිය යුතු බවපතිරාජ අවධාරණයකළේය.

“මෙවැනි විනාශයකට පාර කපන්නේ මිනිස්සු ටික දෙනෙක් ඇවිස්සීමෙන් කියල අපි හිතනවා. එය ජාතීන් දෙකක වැඩක් කියල අපි හිතනවා.ඒත් ඊට වඩා ගැඹුරට බැලුවොත් මේක පවතින නිල අධිපතිවාදය විසින්ම සකස් කොට හදා ගත්ත එකක් කියන එක අපි වටහා ගෙන තියෙනවා” ඔහු පෙන්වා දෙයි.

බෞද්ධ, මුස්ලිම්, දෙමළ යන ජන කොටස් අතර කිසියම් වයිරයක් ඇති කිරීමට උත්සාහ දරන්නේ පවතින අධිපතිවාදය පවත්වාගෙන යාමට වෙන විකල්පයක් නැති නිසා යයි කලාකරුවන් විශ්වාශ කරන්නේ බවත් ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ තවදුරටත් ප්‍රකාශ කළේය.

ආරියවංශ රණවීර, පරාක්‍රම නිරිඇල්ල, සෝමලතා සුබසිංහ, චද්‍රගුප්ත තේනුවර, ලූෂන් බුලත්සිංහල, ජයලත් මනෝරත්න, උපුල් ශාන්ත සන්නස්ගල ඇතුළු කලාකරුවෝ පනස් නව දෙනෙක් එම ප්‍රකාශනයට අත්සන් තබා ඇත.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.