අලුත්ගම රැස්වීමේ අරමුණ 'ගැටුමක් වැළැක්වීම'

20 ජුනි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:29 GMT

පොසොන් පොහෝ දින "භික්ෂූන් වහන්සේ නමකට පහර දීමෙන්" අනතුරුව ඇවිලෙන්නට ගිය වාර්ගික ගැටුමක් වැළැක්වීම පසුගිය 15 වැනි දින අලුත්ගමදී රැස්වීමක් පැවැත්වීමේ අරමුණ වූ බව බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පවසති.

ශ්‍රී ලංකාවේ හට ගන්නා ඕනෑම ගැටුමකදී තම සංවිධානයට චෝදනා කිරීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවද එහිමියෝ බීබීසී සංදේශයට පැවසූහ.

අලුත්ගම රැස්වීමේදී තමන් ජාතිවාදියකු බව පිළිගැනීම සහ 'අබ සරණ' වැනි යෙදුම් ප්‍රකෝපකාරී ප්‍රකාශ නොවේදැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ඥානසාර හිමියෝ, රටේ සැබෑ ප්‍රශ්න පෙන්වා දුන් විට ජාතිවාදීන් ලෙස චෝදනා කරන්නේ නම් එසේ චෝදනා කළාට කම් නැතැයි යන්න පමණක් තමන් සඳහන් කළ බවයි.

අලුත්ගම රැස්වීමේදී පොලිසිය සහ බලධාරීන් විවේචනය කරමින් තමන් කළ උද්වේගකර ප්‍රකාශය මගින් "විසෙන් විස නසනවා සේ" ජනතාවගේ ආවේගය "උපායශීලීව" සමනය කළ බවද එහිමියෝ පවසති.

"මිනිස්සු අත්පුඩි ගහමින් විසිල් ගසමින් මිනුස්සුන්ගේ ආවේගය පාලනය කළා," යනුවෙන්ද එහිමියෝ සංදේශයට කියා සිටියහ.

'සුද්ද සිංහල'

වසර දෙකකට ආසන්න කාලයක් රට පුරා පැතිර යමින් පවතින අන්තවාදයක් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය දිගින් දිගටම කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් තමන්ට විරුද්ධ බලවේග ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද උන් වහන්සේ තවදුරටත් පැවසූහ.

බොදු බල සේනා සංවිධානය ජාතිවාදය උසි ගන්වන බවට පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන ඇතුළු සියලු දෙනා චෝදනා කරන්නේ කරුණු නොදැන බවද ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

'විසෙන් විස නසනවා සේ ජනතාවගේ ආවේගය උපායශීලීව සමනය කළා'

පරුෂ වචන භාවිත කරමින්, තර්ජනය කරමින් බොදු බල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ හැසිරෙන ආකාරය මුළු රටම දැක තිබෙන බව පෙන්වා දුන් විට බොදු බල සේනාවේ ලේකම් හිමියන් පවසන්නේ "අපි කතා කරන්නේ සුද්ද සිංහල" බවයි.

බොදු බල සේනා සංවිධානයේ ෆේස්බුක් අඩවිය තහනම් කරනු ලැබ තිබෙන්නේ ජාතිවාදයට අනුබල දීමේ චෝදනාව මත නේදැයි කළ විමසුමට එහිමියන් පැහැදිලි පිළිතුරක් දුන්නේ නැත.

තමන් වහන්සේ සහ සිය සංවිධානය බුදුන් වහන්සේගේ දර්ශනය අනුගමනය කරන්නේ දැයි විමසූ විට එහිමියන් කියා සිටියේ: "අමතක කරන්න එපා බෞද්ධ දර්ශනය වෙනයි. සිංහල බුද්ධාගම වෙනයි," යනුවෙනි.