බොදු බල සේනා සංවිධානය 'තහනම් කළ යුතුයි'

20 ජුනි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:14 GMT

අලුත්ගම හා බේරුවල සිද්ධියට ඍජුවම වග කිව යුත්තේ බොදු බල සේනා සංවිධානය බවට කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම චෝදනා කරයි.

පසු ගිය දහසය වැනි දින දර්ගා නගරයේ සිටි මුස්ලිම් ජාතිකයන් පිරිසක් බේරා ගැනීමට ගොස් මන්ත්‍රීවරයා තුවාල ලැබූ අතර ඔහුගේ වාහනයටද දැඩි අලාභ හානි සිදු විය.

තමන්ට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ ව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් ද මතු කළේය.

'අපි සිංහලයෝ හැටියට මෙතන වස බොන්න ඕනේ'

කළුතර දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ ජනතාව සහ මුස්ලිම් ජනතාව අතර කිසිදු ප්‍රශ්නයක් නැති බව පවසන තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා, අලුත්ගම දී සහ බේරුවල දී සිදු වූයේ බොදු බල සේනාවේ මැරයන් අහිංසක මුස්ලිම් ජනතාවට කළ අමානුෂික පහර දීමක් පමණක් බව බීබීසී සංදේශයට කියා සිටියේය.

"ගැහුවේ සිංහල කට්ටිය නෙමෙයි, අර ගලබොඩ අත්තේ ඥානසාර කියන ලෙඩාගේ ආගමේ කට්ටිය. මේ අය බෞද්ධ හෝ සිංහල අය නෙමෙයි. මේ ගොල්ලෝ හින්ද අපට ලැජ්ජා වෙන්න වෙලා තියෙනවා, අපි සිංහලයෝ හැටියට මෙතන වස බොන්න ඕනේ,"යනුවෙන්ද ඔහු පැවසීය.

"මන්ත්‍රීවරු හැටියට අපි අස් වෙන්න ඕන. මේ යුද්ධය ඉවර කරපු ජනාධිපතිතුමාට බැරි උනා මේ කිලෝ මීටර් දෙක තුනේ ඉන්න ජනතාව බේර ගන්න."

'ආණ්ඩුව කරපු වැඩක්'

බෞද්ධ භික්ෂූන් වහන්සේ රැගත් වාහන පෙළකට මුස්ලිම් පල්ලියක් දෙසින් එල්ල වූ ගල් ප්‍රහාරයකින් අනතුරුව ගැටුම් ආරම්භ වූ බවට ආණ්ඩුව ප්‍රකාශ කරන නිසා, මෙම සිද්ධියට බොදු බල සේනා සංවිධානය සේම එම ප්‍රහාරය එල්ල කළ පිරිසත් වගකිව යුතු නොවේදැයි සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා, ආණ්ඩුවේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි.

"රැස්වීමට ආපු කොල්ලෝ ඉස්කෝල බෑග් කරේ දා ගෙන ඒවායේ ගල් දා ගෙන ගියේ. පල්ලියට ඒවගෙන් ගැහුවා. ඒ ගහන කොට මේ මිනිස්සුන්ට ආරක්ෂාව දුන්නේ නැහැ කවුරුවත්. මේක ආණ්ඩුව කරපු වැඩක්," යනුවෙන්ද ඔහු පැවසීය.

"අපේ ගෙදරට ඇවිල්ලා ගහන කොට අපි නම් මරා ගෙන කනවා. මේ මිනිස්සු ඉවසුවා වැඩියි ඇත්තටම. මේ ගෙවල් දොරවල් ගිනි තියලා තියෙද්දිත් මේ අම්මල හිනා වෙලා අපට තේ එකක් දෙන්න අහනවා. අපේ මිනිසුන්ට මෙහෙම ගැහුව නම් ඒ මිනිසුන්ගේ කෑල්ලක් ඉතුරු කරන්නේ නැහැ," යනුවෙන්ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

'වාහනේ හිටියා අත දරුවෝ 5ක්, ගැබිනි මව් වරු දෙදෙනෙක් ඇතුළු 16ක්'

මෙම සිද්ධියට ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද සම්බන්ධ වී ඇති බව මන්ත්‍රීවරයා පවසයි.

"ආණ්ඩුවේ හිටපු සභාපතිවරයෙක්, වර්තමාන පළාත් සභා මන්ත්‍රීවරයෙක් මේ ප්‍රහාරයට සම්බන්ධයි කියලා මේ මිනිස්සු ඍජුවම කියනවා. ඇමතිවරුන්ට ඇවිල්ලා ආරක්ෂාව දෙන්න තිබ්බනේ? පොලිසියත් එක්ක ඉන්න තිබ්බනේ? මම මහා රෑ තනියම ඇවිල්ලා පළාත් සභා මන්ත්‍රී ඉෆ්තිකගේ එළු ෆාම් එක හා එළුවෝ 3000 බේරා ගත්තා," යනුවෙන්ද තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ඇමතිවරුන් කිසිවෙකුත් ගැටුමට මැදි වූ පුද්ගලයන් බේරා ගැනීමට නො පැමිණි බවත් මන්ත්‍රීවරයා පවසයි.

'හාමුදුරුවන්ට ගහල නෑ'

"පොලිසියට කතා කළා, පැත්ත පළාතේ ආවේ නැහැ. වැලිපැන්නේ කඩ ගිනි තිබ්බේ පොලිසිය ඉස්සරහ. මතුගම සිංහල කට්ටිය මංකොල්ල කෑවේ පොලිසිය ඉස්සරහ. මේවයේ වගකීම ආණ්ඩුවේ ඇමතිවරු බාර ගන්න ඕනෙ."

15 වනදා රාත්‍රියේ වැලිපැන්නේ මුස්ලිම් මරණයක් සිදු වූ අතර, මරණයට පත් පුද්ගලයාගේ මව සහෝදරිය ඇතුළු ඥාතීන් පිරිසක් අලුත්ගම සිට වැලිපැන්නට පැමිණීමට තමන්ගෙන් උදව් ඉල්ලා සිටි බැවින් තමන් එහි ගොස් ඔවුන් රැගෙන ආ අවස්ථාවේ තමන් පහර කෑමට ලක් වූ බවයි, ඔහු කියා සිටියේ.

"පොලිසියේ 500ක් විතර පාරේ දෙපැත්තේ හිටියා. මම ගිහිල්ල ඒ කට්ටිය අරගෙන එන කොට සිංහල කට්ටිය, අර ඥානසාරගේ ආගමේ කට්ටිය ගැහුවේ. වාහනේ හිටියා අත දරුවෝ 5ක්, ගැබිනි මව් වරු දෙදෙනෙක් ඇතුළු 16ක්. මමයි එලෙව්වේ, මම වාහනේ පුළුවන් තරම් හයියෙන් එලවගෙන කඩා ගෙන ඉස්සරහට අවා, එනකොට කිලෝ මීටරයක් විතර දෙපැත්තේ ඉඳන් ගැහුවා," ඔහු පැවසීය.

"වැලි බෝතල්, පෙට්‍රල් බෝතල්, දෙකේ දෙකේ පොලු, කළු ගල්, වලින් ගුටි කාගෙනයි ආවේ."

මෙම ප්‍රහාරය නිසා වහනයේ සිටි මාස නමයක අත දරුවෙකු ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලැබූ බව ද මන්ත්‍රීවරයා පවසයි.

මෙම සිද්ධි සැලසුම් කළ ඒවා බව කියා සිටි මන්ත්‍රීවරයා සියලු සිද්ධි වලට මුල් වූ බව පවසන, සතියකට පමණ පෙර දර්ගා නගරයේ මුස්ලිම් ජාතිකයකු විසින් භික්ෂූන් වහන්සේ කෙනෙකුට පහර දුන් බව කියන සිද්ධිය සම්පුර්ණ අසත්‍යයක් බව තවදුරටත් පවසයි.

"මම ගිහිල්ලා 'X-RAY' කාමරේ මහතාගෙනුත් ඇහුවා. එයා කිව්වා නැහැ මන්ත්‍රීතුමා හාමුදුරුවන්ගේ අතට මොකුත් වෙලා නැහැ කියලා. මම බය නැතුව කියනවා මටත් හෙට අනිද්දා ගහයි, ගෙට ගිනි තියයි, වටරැක හාමුදුරුවන්ට කළා වගේ මටත් කරයි. එහෙම මැරෙන එක සාධාරණයි මේවා බලා ගෙන ගොළුවෝ වගේ ඉන්නේ නැතුව. ඡන්ද බලන්නේ නැතුව මෙහෙම කෙළින් කතා කරලා මැරෙන එක සැපයි."

ගැටුම්වලින් විනාශ වූ ප්‍රදේශවල සිකුරාදා සංචාරය කළ බවත් මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.