වටරැක විජිත හිමියන්ට ප්‍රහාරයක්

19 ජුනි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 16:49 GMT

කැපුම් තුවාල සහිතව පානදුර හිරණ පාලම අසලට ගෙනැවිත් දමා තිබූ ජාතික බල සේනා සංවිධානයේ නායක වටරැක විජිත හිමියෝ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

බොදු බල සේනා සංවිධානයේ කටයුතු දැඩි ලෙස විවේචනය කළ වටරැක විජිත හිමියන්, ඒ හේතුවෙන් තමන්ට මරණ තර්ජන ද එල්ල වූ බව මින් පෙර පොලිසියට පැමිණිලි කර තිබුණි.

වටරැක විජිත හිමියන් පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ උන්වහන්සේගේ තත්වය බරපතළ නොවන බවයි.

හිරණ බොල්ගොඩ ගඟ අසල අත් පා බැඳ මුනින් අතට දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගත් විජිත හිමියන් සිටි ස්ථානයට මදක් නුදුරින් ඒ හිමියන්ගේ අඳනයක් සොයා ගත් බව පානදුර ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් සන්දේශයට පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

හැඳුනුම්පත

ස්වර්ණවාහිනී මාධ්‍යජාලයේ පින්සිරි පෙරේරා බීබීසී සංදේශයට තොරතුරු ගෙනෙමින්, වටරැක විජිත හිමියන් දමා ගොස් තිබුණ ස්ථානය අසල තිබී හමු වූ හැඳුනුම්පතකින් උන්වහන්සේගේ අනන්‍යතාවය පොලිසිය විසින් සහතික කර ගත් බවයි සඳහන් කළේ.

වටරැක විජිත හිමියන්ගේ සෞඛ්‍යය තත්වය ගැන කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහගෙන් බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ වෛද්‍යවරයා කියා සිටියේ උන්වහන්සේ යහපත් තත්වයක සිටින බවයි.

නීතිඥ නාමල් රාජපක්ෂ උන්වහන්සේ බැලීම සඳහා බ්‍රහස්පතින්දා සවස් කාලයේ රෝහලට ගිය අතර, ඉන්පසු ඔහු සංදේශයට කියා සිටියේ,පහර දීමකට ගොදුරු වූ විජිත හිමියන් සිහිසුන් තත්වයක පසු වී ඇති බවයි.

"විජිත හිමියන්ගේ සිරුරේ කැපුම් තුවාල තියෙනවා.මම රෝහලට යන විට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් උන්වහන්සේගෙන් කට උත්තර ගනිමින් සිටියා. කෙසේ නමුත් විජිත හිමියන් පසු වුණේ කතා කළ හැකි මට්ටමක නොවෙයි." නීතිඥ නාමල් රාජපක්ෂ පවසයි.

එහෙත් තමා පසුව උන්වහන්සේගෙන් විමසීමක් කළ අවස්ථාවේ භික්‍ෂූන් කණ්ඩායමක් තමන්ට පහර දුන් බව වටරැක විජිත හිමියන් තමා සමඟ ප්‍රකාශ කළ බවයි,නීතිඥ නාමල් රාජපක්ෂ සඳහන් කළේ.