ධිවර වෙස්ගෙන ජාවාරමේ

18 ජුනි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:16 GMT

ධීවරයින් ලෙස පෙනී සිටිමින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගංජා මත් ද්‍රව්‍ය ගෙන ආ ඉන්දියානු ජාතිකයන් තිදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුළසූරිය පවසයි.

කල්පිටියට නාවික සැතපුම් විසිපහක් දුරින් බත්තලන්ගුන්ඩුව මුහුදු සීමාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත .

අත් අඩංගුවට පත් තිදෙනා ඉන්දියාවේ රාමේශ්වරම් හි පදිංචිකරුවන් බව වාර්තාවේ.

ඔවුන්සතුව තිබු කේරල ගංජා නමින් හදුන් වන මත් ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය හැටකට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඒවායේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි තුනකට ආසන්න බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මුලික පරීක්ෂණ වලින් අනතුරුව සැකකරුවන් ත්‍රස්තවාදී විමර්ශන ඒකකයට භාර දී තිබෙන බවයි පැවසෙන්නේ.

ධීවරයන් ලෙස වෙස් වලාගනිමින් දකුණු ඉන්දියානුවන් සිදු කරන ජාවාරම් හේතුවෙන් ඔවුන්ගේ රැකියාව කරගෙන යාමට අපහසු වී ඇති බව කල්පිටිය ධීවරයන් පවසති.