'ගැටුම්වලට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්න'

18 ජුනි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 19:15 GMT

අලුත්ගම සහ බේරුවල ප්‍රදේශයේ ඇති වූ ගැටුම් වලට සම්බන්ධ පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බල කරමින් සම අයිතිය ව්‍යාපාරය කොළඹ දී උද්ඝෝෂණයක නිරත විය.

කොටුව දුම්රියපොළ ඉදිරි පිට රැස් වූ එම ව්‍යාපාරයේ සාමාජිකයන් සමග දේශපාලන සහ සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් උද්ඝෝෂණය ට සහභාගී වුහ.

රජය විසින් පෝෂණය කල ජාතිවාදය පැරදිය හැක්කේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව සමගි වීමෙන් පමණක් බව එහි දී අදහස් දැක්වූ සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවින්ද්‍ර මුදලිගේ කියා සිටියේය.

ආණ්ඩුවේ පෝෂණය

‘’මේ ජාතිවාදීන්, ආණ්ඩුවේ උකුලේ තබා පෝෂණය කල පිරිස්. ඔවුන් අබිබවා යාමට නම් සියලු ජන කොටස් එක්සත් විය යුතුයි ‘’ යයි ඔහු පැවසීය.

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජිබර් රහමන් අදහස් දක්වමින් කියා සිටියේ අලුත්ගම සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගත යුතු බවයි.

උද්ඝෝෂණයට එක් වූ නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න , බලය හීන වෙමින් පවතින රජය සිය බලය ආරක්ෂා කර ගැනීම සඳහා ජාතිවාදී ගැටුම් උත්සන්න කරන බවට චෝදනා කළේය.

අලුත්ගම ගැටුමින් ජීවිත සහ දේපළ අහිමි වූ වන්ට වන්දි ලබා දීමට රජය කටයුතු කල යුතු බව කියා සිටියේ බලය බෙදා රට එක්සත් කිරීමේ ව්‍යාපාරයේ නායකයකු වන අසාද් සාලි මන්ත්‍රීවරයායි.

මෙම උද්ඝෝෂණය පැවති අවස්ථාවේ ඕල්කොට් මාවත අවට ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබුණි.