ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බේරුවල අවතැන් වුවෝ උද්ඝෝෂණයක

18 ජුනි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 21:17 GMT

දැඩි මතධාරී බෞද්ධයන් සහ සුළු ජාතික මුස්ලිම් ජාතිකයන් අතර ඇතිවුණු ගැටුම් වලින් පසු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක බලපැවැත්වුණු ඇඳිරි නීතිය බලධාරීන් විසින් ඉවත්කොට ඇත.

ආපසු නිවෙස් වලට යන ලෙස මෙසේ ලැගුම් ගෙන ඇති ජනතාවගෙන් රජය ඉල්ලා ඇති අතර ආරක්ෂාව තහවුරු කරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් සහතිකයක් ලැබෙන තුරු තමන් ඉවත්ව නොයන බව ඔවුන් පැවසුහ.

ඉරිදා ඇතිවූ ගැටුම් වලින් පසු පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් අසු දෙනෙකුට පමණ තුවාල සිදුවූ අතර ආරක්ෂාව පතා නිවෙස් අතහැර ගිය දහස් ගණනක් මිනිසුන් අතර වැඩි වශයෙන් මුස්ලිම් පිරිස් තවමත් තාවකාලික රැඳවුම් කඳවුරු වල හා පල්ලි වල ලැගුම් ගෙන ඇති බවයි පැවසෙන්නේ.

සිංහල ජනතාව නොවෙයි

ගින්නෙන් නිවෙස් විනාශ වූ එම බේරුවල මුස්ලිම් ජනතාව වැඩි දුරටත් පවසන්නේ මෙම ගැටුම් ඇති කරන්නේ බොදු බල සංවිධානය මිස සාමාන්‍ය සිංහල ජනතාව නොවන බවයි.

අද උදැසන බ්බිසි වාර්තාකරු අසාම් අමීන් බේරුවෙල අල් හුම්සේරා විද්‍යාලයට යනවිට එහි සිටි අවතැන්වුවන් රජයට එරෙහිව විරෝධතාවයක් පවත්වමින් සිටියහ.

තමන්ට එල්ලවූ ප්‍රහාරයට බොදු බල සේනා සංවිධානය සම්බන්ධ බවට චෝදනා කල මෙම අවතැන්වුවන් තත්වය යහපත්වී ඇති නිසා මෙම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස රජය කල ඉල්ලීමද ප්‍රතික්ෂේප කළහ.

තම ආරක්ෂාව පිළිබඳව විශ්වාසයක් ඇතිවූ පසු මෙම ස්ථානයෙන් පිටවිය හැකි බවයි බේරුවල ලෆීර් ජමිල් පවසා සිටියේ.

'පොලීසිය බලා සිටිද්දී ගෙට ගිනි තිබ්බා'

බිබිසියට අදහස් දැක්වූ බේරුවෙල අල් හුම්සේරා විද්‍යාලයේ විදුහල්පති මොහමඩ් රිස්කි පැවසුවේ මෙම පිරිසට තම නිවෙස් කරා ඉවත්ව යන ලෙස දැනුම් දී ඇත්තේ රජයේ ඉහළ නිලධාරින්විසින් බවයි

අවතැන්ව මෙම පාසලේ ලැගුම් ගෙන සිටින මුස්ලිම් ජාතික කාන්තාවන් ඉතාමත් ආවේගශීලීව ප්‍රශ්න කළේ තමන්ට මෙවන් තත්වයක් ඇති කලේ ඇයිද යන්න අසමින්.

තමන්ගේ නිවස ඇතුළු සියලු දේ විනාශ වී ඇති බව පැවසූ බේරුවල සිත්ති ෆර්සනා පැවසුවේ පොලිසිය බලා සිටිය දී කළහ කරුවන් තම නිවසට ගිනි තැබූ බවයි.

තමන්ට සිදුවුණු අසාධාරණයට යුක්තිය ඉටු කළ යුතු බවයි ඔවුන් කඳුළු පිරි දෙනෙතින් ඉල්ලාසිටියේ.

'රජයෙන් කිසිම සහනයක් නැහැ'

මෙම අවතැන් කඳවුරු වල සිටින ජනතාවට රජයෙන් කිසිදු සහනයක් නොලැබුණු බවයි එම ජනතාව බිබිසිය ට පැවසුවේ.

මෙම අවතැන්කදවුරේ සිටින ජනතාවගේ විනාශ වූ ගෙවල් දොරවල් නැරඹීමටද බිබිසිය බේරුවල ප්‍රරදේශයේ සංචාරය කල අතර එම විනාශවූ නිවස අසල සිල්ලර කඩයක් පවත්වාගෙන යන පි සිරිසේනගෙන් අපට පැවසුවේ මෙම නිවසවලට මෙවන් තත්වයක් ඇතිවීම පිළිබඳව බලවත්සේ කම්පාවන බවයි.

බේරුවෙල අල් හුම්සේරා විද්‍යාලයට අද උදැසන සිට රජයේ අමාත්‍යවරුන් හා නිලධාරින් පැමිණ සිටියේ තත්වය විමර්ශනය කිරීමටයි.

මාධ්‍යවේදීන් විසින් එක් රැස් කරගන්නා තොරතුරු ශ්‍රී ලංකාවේ කිසිදු මධ්යක පල නොකරන බවට අද උදැසන බේරුවලට පැමිණි මාධ්‍යවේදීන්ට අවතැන්වුවන්ගෙන් චෝදනාවක්ද එල්ලවිණි.

යුරෝපා සංගමය අනතුරු අඟවයි

බලධාරීන් පවසන්නේ ප්‍රහාරයන්ට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් පනහකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති බවයි.

දඩිමතධාරී බෞද්ධ සංවිධානයක් වන බොදුබලසේනා සංවිධානය විසින් මුස්ලිම් විරෝධී රැළියක් පැවැත්වීමෙන් අනතුරුව හටගත් මෙම ගැටුම් වලදී නිවෙස් දහයකට වැඩි ප්‍රමාණයක් සහ වෙළඳසැල් කිහිපයක් ද ගිනි තැබිණි.

මේ අතර රටේ නීතිය හා සාමය රැකීමට පියවර ගන්නා ලෙස යුරෝපා සංගමය විසින්ද ශ්‍රී ලංකා රජයට අනතුරු ඇඟවීමක් කර තිබේ.