ආරක්ෂාව පතා හය දාහක් අලුත්ගම පල්ලිවල

17 ජුනි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 19:05 GMT

අලුත්ගම හා ඒ අවට ප්‍රදේශවල සිදු වූ ප්‍රහාරයෙන් පසු හය දහසකට ආසන්න මුස්ලිම් වැසියන් එම ප්‍රදේශයේ පල්ලිවල හා පාසල්වල ලැගුම් ගෙන සිටින බව ප්‍රාදේශීය නියෝජිතයෝ පවසති.

බේරුවලින් පිටත ප්‍රදේශවල ජනතාව විසින් මොවුන්ට ආහාර සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය සපයනු ලබන බවයි බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ ආර් එම් බදුර්දීන් සංදේශයට පැවසුවේ.

මුස්ලිම් වැසියන් ලැගුම් ගෙන සිටින පල්ලිවලට පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව ද ඔහු කියා සිටියි.

මේ අතර අලුත්ගම හා බේරුවල ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින බවයි පොලිසිය පවසන්නේ.

හතළිස් එකක් අත්අඩංගුවට

අලුත්ගම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව සැකකරුවන් හතළිස් එක් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සංදේශයට ප්‍රකාශ කළේය.

පුද්ගලයෙකු මරණයට පත් වූ වැලිපැන්න සිද්ධිය සම්බන්ධව සැකකරුවෙකු හඳුනා ගෙන ඇති බවත් පොලිස් ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසා සිටියි.

‘අඛණ්ඩව මේ කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියා මෙහෙයවපු පුද්ගලයෝ හා ඒ වගේ ම මේවාට දායක වෙච්ච අය අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියක් කරලා තියෙනවා’ යයි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේය.

මේ අතර කෑගල්ල දිස්ති‍්‍රක්කයේ මාවනැල්ල නගරයේ බොදු බල සේනාව විසින් අඟහරුවාදා සංවිධානය කර තිබුණු රැස්වීමක් ද පොලිසිය විසින් තහනම් කර තිබේ.

අලුත්ගම හා අනෙකුත් ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව බොදු බල සේනා සංවිධානයට නැගෙන චෝදනා සම්බන්ධයෙන් එම සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ අදහස් දැන ගැනීමට සංදේශය කළ උත්සාහය සාර්ථක වුයේ නැහැ.