'අලුගෝසුවා' නම වෙනස් කරයි

13 ජුනි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 19:24 GMT

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අලුගෝසු තනතුරේ නාමය වෙනස් කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ වසර මුලදී ඉරානයේ ක්‍රියාත්මක කළ මරණ දණ්ඩනයක්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම සංදේශය වාර්තාකරු කේ එස් උදයකුමාර්ට කියා සිටියේ මජනතාවගෙන් ලබා ගත් නම් 200 ක් පමණ ඇතුළත් ලැයිස්තුවක් විෂය භාර ඇමතිවරයා වෙත යොමු කර ඇති බවයි.

‘මේක අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේ අපට ලැබුණු තනතුරක්. අලුගෝසුවා එසේත් නැතිනම් වධකයා කියන නම අදට නොගැලපෙන නිසයි අපි මේ වෙනස කරන්න තීරණය කළේ.’ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා බීබීසීයට පැවසීය.

‘පය බරවායට...'

හදිසියේම අලුගෝසු තනතුර පිළිබඳව ඇති වී තිබෙන උනන්දුව ගැන බීබීසීයේ තිසර රතුවිතානට අදහස් දැක්වූ ‘නිදහසේ වේදිකාව’ කැඳවුම් කරු නීතීඥ සුදර්ශන ගුණවර්ධන කියා සිටියේ ‘පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමේ න්‍යාය’ අනුව බලධාරීන් කටයුතු කරන බවයි.

අලුගෝසු තනතුර සඳහා යොදන නාමය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි විෂය භාර ඇමති චන්ද්‍රසිරි ගජධීර කියා සිටියේ.

සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න.

කෙසේ වෙතත් බන්ධනාගාරයේ අලුගෝසු තනතුර සඳහා කලක පටන් තිබෙන පුරප්පාඩුව පිරවීමට තවමත් බලධාරීහු අසමත් වී සිටිති.

මීට කලින් පත් කළ අය තනතුර හැර යාම නිසා මේ ප්‍රශ්නයට විකල්ප විසඳුම් සෙවීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙන බවයි වාර්තා වන්නේ.