අපි හැම දෙනාම සචිත්‍ර එක්ක - ඇන්ජලෝ

10 ජුනි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:22 GMT

ප්‍රතිවාදීන්ගෙන් එල්ල වන පීඩනය දරා ගත නොහැකි වූ විට අනෙක් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පීඩනය යොමු කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාමාන්‍ය සිරිතක් බවට පත් වී තිබෙන හැඩක් පෙනී යන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිවුස් ප්‍රකාශ කරයි.

"සමහර අවස්තාවලදී සමහර පන්දු යවන්නට හොඳින් ක්‍රීඩා කරන්න බැරි වුනහම මේ වගේ මතභේද ඇතිවෙනවා. මුරලි අයියගේ ඉඳල ඒක අපි දැකපු දෙයක්," යනුවෙන් ඔහු සඳහන් කළේ සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියවුව සැක සහිත බවට ජගත් පාලක මණ්ඩලයට වාර්තා කිරීම පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

'ඔහුත් දන්නවා අපි මුළු කණ්ඩායමම ඔහු සමඟ ඉන්නවා කියල': නායක මැතිවුස්

සිය සහෝදර ක්‍රීඩකයාට මේ මොහොතේ කණ්ඩායමේ සියලු දෙනාගේම සහාය පළ වන බවද නායක මැතිවුස් පවසයි.

"කණ්ඩායමේ සියලුම දෙනා එක පවුලක සාමාජිකයෝ වගේ සෙල්ලම් කරන්නේ. ඉතින් මම හිතන්නේ අපේ පවුලේ කාට හරි මොනවා හරි උනොත් අපි හැමෝම ඒ කෙනත් සමඟ ඉන්නවා. ඔහුත් දන්නවා අපි මුළු කණ්ඩායමම ඔහු සමඟ ඉන්නවා කියල," යනුවෙන් ඔහු සඳහන් කළේය.

'තවත් ශක්තිමත්'

1996 ලෝක කුසලානය අවස්ථාවේ සිදුවූවාක් මෙන් සචිත්‍ර ගේ පන්දු යැවීමේ ඉරියවුව ප්‍රශ්න කිරීම මගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සමගිය ශක්තිමත් කෙරුණු බවට හිටපු පුහුණුකරු ඩේව් වට්මෝර් කළ තිබූ සඳහන තමන් පිළිගන්නා බවයි, ඇන්ජලෝ මැතිවුස් පවසන්නේ.

"සචිත්‍ර සේනානායකගේ ඒ පන්දු යැවීම වාර්තා කිරීමත් සමඟ තමයි මේ සේරම පටන් ගත්තේ නමුත් අපි තවත් ශක්තිමත් වෙනවා මිසක් පස්සට යන්නේ නෑ," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

එක් දින තරඟාවලියේදී සචිත්‍ර සේනානායක විසින් ජෝස් බට්ලර් දුවද්දී දැවී දවා ගැනීමකට හසු කර ගැනීම කණ්ඩායම් දෙක අතර උණුසුම් වාදයකට තුඩු දුන් නමුත් දෙපාර්ශවය අතර පවතින උණුසුම තරඟයට බාධාවක් නොවනු ඇති බවද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සංදේශයට කියා සිටියේය.

පාදයේ ආබාධයකට ගොදුරු වී ශ්‍රී ලංකාවට පිටත් කරනු ලැබූ සුරංග ලක්මාල් දැන් සුවය ලබා සිටියත් ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන තරඟයට ඔහු සහභාගි නොවන බවද ඔහු පැවසීය.

සති ගණනාවක් බ්‍රිතාන්‍යයේ ගත කළ ශ්‍රී ලංකා කණ්ඩායම දැන් එහි කාලගුණයට හුරු වී සිටින බව පවසන ඇන්ජලෝ මැතිවුස්, ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වන ටෙස්ට් තරඟාවලිය ජයග්‍රහණය කිරීම කණ්ඩායමේ අභිප්‍රාය බවද පැවසීය.