ශ්‍රී ලංකාවේ ආයෝජනයට දොර විවෘතයි - මහ බැංකු අධිපති

30 මැයි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:13 GMT

ශ්‍රී ලංකාවේ ඍජු විදේශ ආයෝජන වලට එක්තරා බලබෑමක් දක්නට ඇතත් පසුගිය වසර හතර තුළ වාර්ෂිකව ඩොලර් මිලියන 900 කට වැඩි විදේශ ආයෝජනයක් සිදු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි.

නමුත් ඊට කලින් 2006 වසර දක්වා ශ්‍රී ලංකා ආර්ථිකයේ වාර්තා වූයේ වසරකට ඩොලර් මිලියන 200 ක විදේශ ආයෝජන පමණක් බවයි ඔහු බීබීසී යේ ව්‍යපාර කටයුතු පිලිබඳ අංශය සමඟ සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කළේ.

විදේශ ආයෝජනවලින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ චීනයෙන් බවත් ශ්‍රී ලංකාව චීන ආර්ථික අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වෙමින් සිටින බවට කෙනෙකුට තර්ක කරන්නට නොහැකිදැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති වරයා වෙත ප්‍රශනයක් ඉදිරිපත් කළ විට ඔහු කියා සිටියේ ණය දෙන රටවල් සමඟ ආර්ථික සම්බන්ධතා ඇතිවීම හැමතැනකම සිදුවෙන බවයි.

මීට සති දෙකකට කලින් ඇමරිකාවේ ධවල මන්දිරයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවතී බව සඳහන් කළ ඔහු, ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරි කාලය තුළ සිදු කෙරෙන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම් සඳහා ඩොලර් ට්‍රිලියන 11 වැය කෙරෙන බවත් එම මුදලින් වැඩි ප්‍රමාණයක් ඇමරිකාව චීනයෙන් බලාපොරොත්තුවන බව එහිදී ප්‍රකාශ වූ බවත් සඳහන් කළේය.

“ශ්‍රී ලංකාවට හැකිවෙලා තියෙනවා චීන ආයෝජන ගෙන්වා ගන්න. ඒත් එක්කම ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යයෙන් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මගින් ශ්‍රී ලංකාවට බොහෝ ආයෝජන ලැබිල තියෙනවා” ඔහු ප්‍රකාශ කළේය.