සංචාරක කර්මාන්තය වෙනුවෙන් දිවි පුදන අලි පැටවු

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මැයි 12 සඳුදා - 13:01 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

සංචාරක කර්මාන්තයට යොදා ගැනීම පිණිස අලි පැටවුන් පැහැර ගැනීමේ ජාවාරම හේතුවෙන් ගතව ගිය වසර කිහිපය ඇතුලත අලි පැටවුන් සියයක් පමණ මිය යන්නට ඇතැයි පරිසරවේදීහු බිය පළ කරති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ප්‍රධාන වශයෙන්ම සංචාරක කර්මාන්තයට යොදා ගැනීම පිණිස අලි පැටවුන් පැහැර ගැනීමේ ජාවාරම හේතුවෙන් ගතව ගිය වසර කිහිපය ඇතුලත අලි පැටවුන් සියයක් පමණ මිය යන්නට ඇති බවට පරිසරවේදීහු බිය පළ කරති.

මෙසේ නීති විරෝධී ලෙසින් අල්ලා ගන්නා ලද අලි පැටවුන් ප්‍රසිද්ධ බෞද්ධ විහාරස්තාන සහ ජනප්‍රිය හෝටල්වලද රඳවා සිටින බවත් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ නදීක හපුආරච්චි සංදේශයට කියා සිටියේය.

'විජලනය, බොන කිරි අගුනවෙලා සහ පණු රෝග නිසා සත්තු සෑහෙන ප්‍රමාණයක් මැරුණා'

"අලි පැටවු පස් දෙනෙක්ව ගෙවල්වල හීල කරලා හදාගන්න කැලෙන් ගේන්න ඕන අලි පැටවු පහළොවක්වත්," යනුවෙන් ඔහු සඳහන් කළේය.

"අපි දැනුවත්වම විජලනය, බොන කිරි අගුනවෙලා සහ පණු රෝග ඒ වගේ ලොකූ ප්‍රශ්න නිසා සත්තු සෑහෙන ප්‍රමාණයක් මැරුණා. ඉතින් සීයක් එකසිය පනහක් අල්ලලා තමයි, මේ පනහක් හදාගෙන ඉන්නේ," යනුවෙන්ද නදීක හපුආරච්චි වැඩිදුරටත් කියා සිටියේය.

'ජාවාරමක්'

2007 වසරේ සිට අලි පැටවුන් පැහැර ගැනීම වැඩි වීමක් දක්නට ලැබෙන අතර, විශේෂයෙන්ම යුද්ධය නිමා වීමෙන් අනතුරුව එය විශාල වශයෙන් වැඩි වී තිබෙන බව පරිසරවේදීන්ගේ නිරීක්ෂණයයි.

අලි පැටවුන් තබා ගැනීම ප්‍රභූ භාවය රැක ගැනීමේ ආභරණයක් බවට පත්වී ඇති බව වනජීවී සංරක්ෂණ කටයුතු භාර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ප්‍රකාශ කොට තිබුණි.

"අලියව හයර් එකට දීල මාසෙකට රුපියල් ලක්ෂයක ආදායමක් ලේසියෙන්ම ලබා ගන්න පුළුව"

පරිසරවේදී නදීක හපුආරච්චි

එහෙත් අලි පැටවුන් වැඩි වශයෙන්ම පැහැර ගැනෙන්නේ සංචාරක කර්මාන්තයේ අවශ්‍යතා වෙනුවෙන් බවයි, නදීක හපුආරච්චි සංදේශයට කියා සිටියේ.

"මේක ඇත්තටම කරන්නේ බිස්නස් එකක් වශයෙන්. මොකද අලියව හයර් එකට දීල මාසෙකට රුපියල් ලක්ෂයක ආදායමක් ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්."

හබරණ ප්‍රදේශයෙන් පමණක් හැටකට වැඩි අලි පැටවුන් මෙසේ පැහැර ගෙන තිබෙන බව බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්කේඒඩීඑස් ගුණවර්ධන පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

රුපියල් කෝටි හතරක්

නීති විරෝධී ලෙසින් තබා ගෙන සිටින එක් අලි පැටවකු කණ්ඩලම හෝටලයේ සංචාරකයන් පිනවීම පිණිස යොදා ගැනෙන බව, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

අලි පැටවුන් පැහැර ගැනීමේ ජාවාරමක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව පිළිගන්නා වනජීවී කටයුතු භාර අමාත්‍ය විජයමුණි සොයිසා, විශේෂයෙන්ම මෙසේ පැහැර ගැනෙන අලි පැටවකු රුපියල් කෝටි හතරක් දක්වා වූ මිලකට නීතිවිරෝධී ලෙසින් අලෙවි වන බවද සඳහන් කළේය.

මෙම ජාවාරම වැළැක්වීම පිණිස හැකි සියලු පියවර ගනිමින් තිබෙන බවද අමාත්‍යවරයා බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි කළ විමසීමකදී සඳහන් කළේය.

කෙසේ නමුත් වන ජීවී දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ද මෙම ජාවාරමට සහාය දෙන බව පරිසරවේදීන්ගේ චෝදනාවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.