සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මැයි 8 බ්‍රහස්පතින්දා - 10:24 GMT

උසාවි නියෝගයක් ද නොතකා හරිමින් කොළඹ නගරයේ විරෝධතා ව්‍යාපාරවල නිරත වූ සරසවි සිසුන් අත්අඩංගුවට ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ඊයේ, බදාදා ජනාධිපති නිල නිවස ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරවල නිරතව සිටි සරසවි සිසුන් කණ්ඩායමකුයි අත්අඩංගුවට ගැනීමට සැලසුම් කෙරෙන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ, සරසවි සිසු විරෝධතා පාගමනට අදාළ වීඩියෝ පට පොලිසිය විසින් අධීක්ෂණය කරනු ලැබෙමින් පවතින බවයි.

උසාවි නියෝගය

කොළඹ නගරයේ කාර්ය බහුල මහාමාර්ගවල එවැනි පෙළපාලි ගමන් ගැනීම රථවාහන තදබදයකට මෙන්ම මහජනතාවටද අපහසු තත්වයක් ඇති කරන හෙයින්, එම පෙළපාලිය අත්හිටුවන මෙන් ඉල්ලා සිටිමින් කුරුඳුවත්ත පොලිසිය කොළඹ මහාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කළ අතර එය සැලකිල්ලට ගත් අධිකරණය පෙළපාලි පැවැත්වීමෙන් වළකින මෙන් සිසුන්ට නියෝග කර තිබුණි.

එහෙත් එම අධිකරණ නියෝගය නොතකා අන්තර් විශ්ව බල මණ්ඩලයේ සිසුන් සහ රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍යය විද්‍යා අංශයේ උපාධි අපේක්ෂකයෝ විරෝධතා පාගමනක නිරත වෙමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට වාඩි ලා උද්ඝෝෂණයක නිරත වෙමින් සිටියහ.

සිසුන් ඉල්ලා සිටියේ තමන්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි.

වසර හතරක සම සෞඛ්‍යය උපාධි පාඨ මාලාව(AHS) වසර තුනක් බවට පත්කිරීමේ තීරණයට එරෙහිවයි සරසවි සිසුන් විරෝධය පළ කරන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.