රාවණා බලයෙන් අනතුරු ඇඟවීමක්

7 මැයි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:36 GMT

ආගමික ගැටුම් සමථයකට පත්කිරීම සඳහා පිහිටුවන ලද විශේෂ පොලිස් ඒකකය එළඹෙන වෙසක් පොහොයට ප්‍රථමයෙන් විසුරුවා හැරිය යුතු බවට රාවණා බලය සංවිධානය අනතුරු අඟවයි.

සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ පිරිසක් එම අනතුරු ඇඟවීම කළේ ඔවුන් බුද්ධ ශාසන අමාත්‍යංශයට ගොස් බුද්ධ ශාසන සහ ආගමික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඩී එස් ගුණවර්ධන හමු වී සාකච්ඡා කළ අවස්ථාවේ.

විශේෂ පොලිස් ඒකකය විසුරුවා හැරීමට පියවර නොගතහොත් වෙසක් පුන් පොහෝ දිනය පසුවූ වහා බුද්ධ ශාසන අමාත්‍යංශයේ එම විශේෂ පොලිස් ඒකකය පිහිටි හත් වන මහලේ සංඝරත්නය පදිංචි වන බව උන්වහන්සේ කියා සිටියහ.

ලෝකයට පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ ආගමික ගැටුම් නොපවතින බව පැවසූ උන්වහන්සේ, විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමික නිදහස නොපවතින බවට ලෝකයට පණිවිඩයක් ලබා දෙන බවයි කියා සිටියේ.

මෙම විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි දහස් ගණනක් ලැබී ඇති බව පැවසූ උන්වහන්සේ ඒවා වෙනත් පොලීසිවලට පැමිණිලි නොකිරීමට හේතුව කුමක්දැයි ප්‍රශ්න කර සිටිති.

විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවාලීමේදී ජනාධිපතිවරයා පවා නොමග යවා ඇති බව සඳහන් කරන උන්වහන්සේ පොලිස් ඒකකය විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන්ඉල්ලා සිටිති.

නීතිවේදී එකමුතුව, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු මුස්ලිම් පක්ෂ සහ සංවිධාන මෙන්ම මානව හිමිකම් ක්‍රියාධරයන්ද මෙම විශේෂ ඒකකයට විරෝධය පළ කොට තිබේ.

එහෙත් එයට දැඩි ප්‍රසාදය පළ කරන බොදු බල සේනා සංවිධානය පවසන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම ඒකකය පිහිටවනු ලැබුවේ තමන්ගේ ඉල්ලීම ප්‍රකාර බවයි.