ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බුදුන්ට අපහාස කිරීම ගැන 'සමාව ගත යුතුයි'

6 මැයි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:56 GMT

බුදු රජාණන් වහන්සේට අපහාසයක් සිදු කිරීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රෆික් ඩීන් දැඩි කොන්දේසි සහිත ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඉදිරියේදී ආගමික සහජීවනයට බාධා විය හැකි ප්‍රකාශ නොකරන මෙන් විත්තිකරුට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා, අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගත වීමද ඔහුට තහනම් කළේය.

2013 වසරේ අප්‍රේල් මස 06 වැනි දින මාලිගාවත්තේ පැවැත්වුණු රැස්වීමකදී සැකකරු විසින් බුදුරජානන් වහන්සේට අපහාසාත්මක ප්‍රකාශ කරනු ලැබ තිබෙන බවයි, අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය සඳහන් කළේ.

"බුදුන් වහන්සේ මිනීමස් අනුභව කර ඇති බවට ප්‍රකාශ කර තිබෙනවා. ත්‍රිවිධ රත්නය යනු මැණික් ගල් තුනක් බවත් ඔහු ප්‍රකාශ කළා. මෙවැනි ක්‍රියාවලින් ආගමික සහජීවනයට බාධා සිදුවනවා සේම එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක්," බවයි මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කියා සිටියේය.

'සමාව ගත යුතුයි'

සැකකරු මෙම ප්‍රකාශය කොට තිබෙන්නේ කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් විසින් රචිත නිර්මාංශ ප්‍රශ්නය නමැති කෘතිය ඇසුරින් බවයි, විත්ති පාර්ශවයේ නීතිවේදීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ.

එම ප්‍රකාශයේ යම් වරදක් සිදු වී ඇති අතර එය එම අවස්ථාවේම නිවැරදි කර ඇතැයි සඳහන් කළ නීතිවේදීහු, සිය සේවාදායකයා මින් මතුවට ආගමික සමගිය කඩවන ක්‍රියාවල නොදෙන බවටත් ප්‍රතිඥාවක් දුන්හ.

එහෙත් සැකකරු ඇප මත මුදාහරින ලෙස නීතිවේදීන් කළ ඉල්ලීමට පැමිණිල්ල ඉදිරිපත් කළ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදීන් සහ පොලිසිය විරෝධය පළ කළහ.

ඔහු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්දහයෙන් පොලිසිය දෝෂාදර්ශනයට ලක් කළ මහේස්ත්‍රාත්වරයා විත්තිකරු ඇප මත මුදා හැරියේය.

'කරුණු විකෘති කිරීමක්'

තීන්දුවෙන් අනතුරුව මාධ්‍යවලට අදහස් දැක්වූ පැමිණිලිකාර අතුරලියේ රතන හිමියන්: "අධිකරණ තීන්දුව පිළිබඳව අප කිසිවක් පවසන්නේ නැහැ. එහෙත් මේ පුද්ගලයා කර තිබෙන්නේ විශාල වරදක්. මේ පිළිබඳව ඔහු ප්‍රසිද්ධියේ මහ නාහිමිවරු ඉදිරියේ සමාව ගත යුතුයි," යනුවෙන් සඳහන් කළහ.

නඩු විභාගයෙන් අනනතුරුව මාධ්‍යවලට අදහස් දැක්වූ ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රෆික් ඩීන් කියා සිටියේ බුදුන්ට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් තමන් තුල නොමැති බවයි.

"මේක වරදවා වටහා ගැනීමක්. කරුණු විකෘති කිරීමක් නිසයි මෙවැනි තත්වයක් ඇතිවී තිබෙන්නේ. සෑම ආගමක ජනතාවම සමගියෙන් ජිවත්විය යුතු බවයි අපේ බලාපොරොත්තුව," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

නඩු විභාගය මැයි විසි වැනි දිනට කල් තැබූ අධිකරණය එදිනට අදාළ සංවිධානයේ සියලුම නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද පොලිසියට නියම කළේය.