තොරතුරු දැන ගැනීම 'මාධ්‍යවේදීන්ට පමණක් නොවේ'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මැයි 5 සඳුදා - 17:53 GMT

'මහජනතාවගේ මුදල් යොදවන ආකාරය ගැන හෙළිකරන්න ආණ්ඩුව ඔච්චර බය ඇයි'

තොරතුරු දැන ගැනීම හුදෙක් ජනමාධ්‍ය වේදීන්ට පමණක් ලැබෙන අයිතියක් නොවන බැවින් මහ ජනතාවද එම අයිතිය ලබා ගැනීමට සටන් කළ යුතු බව ජනමාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව පවසයි.

කමිටුව වෙනුවෙන් සංදේශයට අදහස් දැක්වූ මාධ්‍යවේදිනි මන්දනා ඉස්මයිල් අබේවික්‍රම ඒ බව කියා සිටියේ, තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කිරීමට බල කෙරෙන මහජන පෙත්සම අත්සන් කිරීම කොළඹ කොටුව දුම්රියපොළ අභියසින් ආරම්භ වූ අවස්ථාවේ බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

මාධ්‍ය සංවිධාන එක්ව පිහිටුවාගත් ජනමාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කොට තිබූ පෙත්සම අත්සන් කිරීමේ ව්‍යාපාරයට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයෝද සහභාගි වී සිටියහ.

"ගමේ පාර හදන්න කොපමණ වියදම් වුනාද?, කොහෙන්ද මුදල ආවේ?, ඉතිරියට මොකද වුනේ? කියන එක තොරතුරු දැන ගැනීමේ පනතකින් ජනතාවට දැනගන්න පුළුවන්," යනුවෙන්ද මන්දනා ඉස්මයිල් අබේවික්‍රම සඳහන් කළාය.

'ආණ්ඩුව බයයි'

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු ආණ්ඩු පක්ෂයේ ඇතැම් පක්ෂද පනතට සහාය පළ කරන බවත් ඇය පවසන්නීය.

විනිවිද භාවය පිළිබඳව කතා කරන වර්තමාන ආණ්ඩුව මෙම පනත ඉදිරිපත් නොකරන්නේ ඇයි දැයි ජනතාව ප්‍රශ්න කළ යුතු බව පෙත්සම අත්සන් කිරීමේ අවස්ථාවට එක්ව සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සංදේශයට කියා සිටියේය.

"ජීවත්වෙන්න ආහාර අවශ්‍ය වගේම තොරතරු දැන ගැනීමේ අයිතියත් අවශ්‍යයි. තමන් කවුද කියලා, තමන්ට මොකද වෙන්නේ කියල හැමෝටම දැන ගැනීමේ අයිතිය තියෙන්න ඕනේ," යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක පවසන්නේ තොරතුරු දැනගැනීමේ පනතකින් ආණ්ඩුවේ හොරකම දුෂණය හා වංචා හෙළිවේ යන බිය හේතුවෙන් ආණ්ඩුව මෙම පනත ඉදිරිපත් නොකරන බවයි.

"මේ සම්බන්ධයෙන් අපි ඉදිරිපත්කරපු පනත ගේන්නවත් දුන්නේ නැහැ. මහජනතාවගේ මුදල් යොදවන ආකාරය ගැන හෙළිකරන්න ආණ්ඩුව ඔච්චර බය ඇයි? මේක ලෝකේ හැම රටකම තියෙන දෙයක්," බවයි, අත්තනායක මන්ත්‍රීවරයා පවසන්නේ.

විපක්ෂයේ සිටියදී මෙවන් ජනතාවාදී පනත්වලට සහාය දුන්නත් ඔවුන් බලයට පත්වූ පසු ඒවා ක්‍රියාත්මක නොකිරීම සාමාන්‍ය සම්ප්‍රදායය නොවේද යන්න බීබීසී සංදේශය එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාට යොමු කළ ප්‍රශ්නයක්.

"2001 දී අපේ ආණ්ඩුවේ අපි මේකට හොඳ පූර්වාදර්ශ දීල තිබෙනවා. මේකට අවශ්‍ය පියවර අරගෙන," යන්න එම ප්‍රශ්නයට ඔහුගේ ප්‍රතිචාරයයි.

තොරතුරු දන ගැනීමේ අයිතිය නීතිගත කරන ලෙස උගත් පාඩම් කොමිසමද නිර්දේශ කොට තිබේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.