"ඉන්දියාවට ප්‍රහාර එල්ල කිරීමට ලංකාවේ සහාය නැහැ"

  • 5 මැයි 2014

ඉන්දියානු භූමියේ ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සදහා පකිස්තානයේ සහාය ලබන අන්තවාදී කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළ පුහුණු වන බවට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායකක් කරන චෝදනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වශයෙන් සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ නායකයකු වන එල්.ගනේෂන් ඉන්දීය මාධ්‍යය හමුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුනේ මෙම අන්තවාදී කණ්ඩායම් ශ්‍රී ලංකා හා පකිස්තාන් රජයේ අනු දැනුම මත ශ්‍රී ලංකාව තුල අවි පුහුණුව ලබන බවයි.

ශ්‍රී ලංකා මුහුදු තීරය ප්‍රයෝජනයට ගනිමින් එම අන්තවාදී කණ්ඩායම් ඉන්දියාව තුලට පැමිණෙන බවට ද ඔහු චෝදනා කරයි.

පදනම් විරහිත චෝදනා

එකී චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රකාශක රුවන් වනිගසූරිය පවසන්නේ, එය සාක්ෂි රහිතව එල්ල කළ පදනම් විරහිත චෝදනාවක් බවයි.

"වැරදි මතයක් ප්‍රචාරය කරලා තියෙනවා, ශ්‍රී ලංකාවේ පුහුණු වන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියා වල නිරත වෙනවා කියලා, නමුත් එය සනාථ කරන්න කිසිම සාක්ෂියක් මේ වන තෙක් ලංකාව තුල හමු වී නැහැ"ශ්‍රී ලංකා යුධ හමුදාවේ ප්‍රකාශක රුවන් වනිගසූරිය පවසයි.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක මෙලෙස රහසිගතව කඳවුරු පවත්වා ගෙන යාමට කිසිවකුට හැකියාවක් නොමැති බව පැවසූ හමුදා ප්‍රකාශකයා ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රදේශ නිතරම හමුදා සෝදිසි කිරීම් වලට ලක් වන බව කියා සිටියේය.

"ශ්‍රී ලංකා යුද හමුදා පුහුණුව සඳහා පවා ප්‍රදේශ වොයා ගැනීමේ අපහසු තත්වයක් යටතේ ඔය කියන ආකාරයට පුහුණු කිරීම්වලට යොදාගත හැකි ප්‍රදේශ ලංකාවේ නැහැ" බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කියා සිටියි.

ත්‍රස්තවාදයට ඉඩ නෑ

තිස් වසරක් පුරා ත්‍රස්තවාදයෙන් බැට කෑ ශ්‍රී ලංකාව කිසිදු දිනක ත්‍රස්තවාදයට සහාය නො දක්වන බවත් හමුදා ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

පකිස්තානයේ ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ බවට චෝදනා කරමින් ඉන්දීය පොලීසිය පසුගියදා ඉන්දියාවේ දී ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන තිබුණි.