රටේ ඇති නැති පරතරය අඩුයි - ජනපති මැයි දින රැළියේ

1 මැයි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 22:18 GMT

රටේ තිබුණු යුගය වෙනස් වී ඇති බවත් ධනපති හා නිර්ධන පන්තිය අතර මහා පරතරය අඩුවී ඇති බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය අද කොළඹ කැම්බල් පිටියේදී පැවැත්විණ .

කොළඔ නෙළුම් පොකුණ රඟහල අසලට එක්රැස් වූ රටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි ජනතාව පෙළපාලියෙන් කැම්බල් පිටිය දක්වා පැමිණියහ.

“අද අපේ රට මැදි ආදායම් ලබන රටක් බවට පත්කරලා ජනතාවගේ තත්වය ඉහළට ගෙනල්ල තියෙනවා,”මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යවරයා අද මැයි රැළිය අමතමින් කියා සිටියේ කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන වමේ පක්ෂ බවයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා ජනාධිපතිවරයා 'හනිෆා' මහින්ද රාජපක්ෂ ලෙස ආමන්ත්‍රණය කලා.

ගෞරව නාමය

මුස්ලිම් ජනතාව වෙනුවෙන් කරන සේවය උදෙසා මේ ගෞරව නාමය පුදකරන බව ද අලව් මව්ලානා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන අමාත්‍යවරයා මැයි දින රැළියේදී කියා සිටියේ කම්කරු අයිතීන් ආරක්ෂා කරදීම සඳහා එදාමෙන් අදත් තමන් පෙනී සිටින බවයි.

කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ ජනතාව අමතමින් පැවසුවේ , මේ වන විට රටේ සාමය පවතින බැවින් නිදහසේ කම්කරුවන්ට වැඩ කළ හැකි බවයි.

විදේශ බලවේග

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මැයි දින රැළිය අමතමින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා දිවයිනේ විවිධ පළාත්වලින් ජනතාව මැයි දින රැළියට එක්ව සිටින බවයි.

ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට උත්සාහ දරන විදේශ බලවේගවලට ඉන් හොඳ පණිවිඩයක් ලැබෙන බවත් ඔහු කියා සිටියේය.