මානව හිමිකම් කොමිසමට අයිටීඑන් නීතිවේදීන්ගෙන් අභියෝගයක්

24 අප්‍රේල් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 11:39 GMT

ස්වාධීන රූපවාහිනිය විසින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂවරයාගේ මානව හිමිකම් කඩ කරන ලද බවට පවතින පැමිණිල්ල විභාග කිරීමට මානව හිමිකම් කොමිසමට බලයක් නැති බව විත්තියේ නීතිවේදීහු පවසති.

අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේ මුලික විරෝධතාවක් මතු කළ ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් ඉල්ලා සිටියේ පැමිණිල්ල ප්‍රතික්ෂේප කරන ලෙසයි.

එහෙත් මිට අදාලව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට කොමිසම තමන්ට අවසර ලබා දුන් බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක පාක්‍යසෝති සරවනමුත්තු සංදේශයට ප්‍රකාශ කළේය.

‘අද විභාගයේදී ස්වාධීන රූපවාහිනිය විරෝධතාවක් මතු කළා මේ පැමිණිල්ල විභාග කිරීමට කොමිසමට බලයක් නොමැති බවට. දැන් තිබෙන ප්‍රශ්නය පැමිණිල්ල විභාග කිරීමට තමන්ට බලයක් තිබේදැයි කොමිසම තීන්දුවක් ගත යුතුයි’ පාක්‍යසෝති සරවනමුත්තු කියා සිටියේය.

පසුගිය වසරේ අම්පාර ප්‍රදේශයේ කොටි සංවිධානයට සහාය පළ කරමින් රැස්වීමක් පැවති බවත් ඊට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අනුග්‍රහය දැක්වූ බවත් පවසමින් ස්වාධීන රූපවාහිනි සේවය විකාශය කළ පුවතකින් තම මානව හිමිකම් කඩවූ බවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක පාක්‍යසෝති සරවනමුත්තු මානව හිමිකම් මණ්ඩලයට පැමිණිලි කර තිබුණි.

තමන් එවැනි රැස්වීමකට සහභාගී නොවූ බව පවසන පැමිණිලිකාර පාක්‍යසෝති සරවනමුත්තු මෙම අසත්‍ය පුවත් ප්‍රචාරය තුලින් සිය මානව හිමිකම් කඩවී ඇති බවට තීන්දුවක් ලබා දෙන මෙන් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියේය.