'එක්සත් ජාතීන් ගේ පරීක්ෂණයට සහය දිය යුතුයි'

  • 3 අප්‍රේල් 2014
රජය ස්වකීය ස්ථාවරය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ

එක්සත් ජාතීන් විසින් නීත්‍යානුකුලව සම්මත කරගනු ලැබූ යෝජනාවට ශ්‍රී ලංකාව සහයෝගය දැක්විය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවට එල්ලවන යුද අපරාධ චෝදනා අසත්‍ය බව සනාථ කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහා කොමසාරිස්වරිය විසින් ආරම්භ කිරීමට නියමිත පරීක්ෂණයට ශ්‍රී ලංකාව සහය දිය යුතු බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රධාන ලේකම් හසන් අලි විසින් බිබිසියට කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා එසේ ප්‍රකාශ කළේ.

'කයිවාරුවෙන් වැඩක් නැහැ'

‘’අපේ රටටත් එවැනි තත්වයකට මුහුණ දීමට සිද්ද උනොත් ඒකට බොරු කයිවාරු ගහ ගහ බොරුවට ඒගොල්ලෝ සම්මත කරගත්තාට අපට මොකෝ යන මෝඩ කථා කියන්නේ නැතිව ඒකට මුහුණ දීලා විසඳගන්න ඕනා’’.යැයි ඔහු පැවසුවේය.

මේ අතර දැන් වුවද ශ්‍රී ලංකාවේ විශ්වසනීය අභ්‍යන්තර පරීක්ෂණයක් සඳහා එක්සත් ජාතීන් විසින් අවකාශ ලබා දී ඇතිබව ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්සඅත්තනායක මන්ත්‍රීවරයා ය.

‘’ඒක කිරීම මග හැරීම නිසා තමයි ප්‍රශ්නය මෙතරම් දුරට ගිහිල්ල තියෙන්නේ’’යනුවෙන් අත්තනායක මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

'රජයේ ස්ථාවරය පැහැදිලි නැහැ'

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ස්ථාවරය ගැන ජනතා විමුක්ති පෙරමුණෙන් ද සංදේශය විමසූ විට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේ වත්මන් රජයේ පාර්ශව කරුවකු වන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ස්ථාවරය මෙය නම් රජය තම ස්ථාවරය කවරේ ද යනුවෙන් පැහැදිලි කලයුතු බවයි.

‘’රටේ අධිකරණ ඇමතිවරයා නියෝජනය කරන දේශපාලන පක්‍ෂයක ස්ථාවරය මේක නම් ආණ්ඩුව තමන්ගේ ස්ථාවරය කුමක් ද කියල පැහැදිළිව කියන්න ඕනේ’’.යනුවෙන් විජිත හේරත් මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේය.

කෙසේවෙතත් රජය ස්වකීය ස්ථාවරය මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර