'ජී එල් සූත්‍රයට අනුව ආණ්ඩුව පරාදයි'

  • 30 මාර්තු 2014
'ජිනීවා වලට එක න්‍යායකුත් මේකට වෙන න්‍යායකුත් තියෙන්න බෑනේ’ කබීර් හෂීම්

ජිනීවා යෝජනාව සම්මත වූ ඡන්ද ප්‍රතිශතය අනුව ජය පරාජය විනිශ්චය කිරීම සඳහා ජී එල් පීරිස් ඇමතිවරයා ගෙන ආ තර්කය අනුව මෙවර මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය වී ඇති බව විපක්ෂය පවසයි.

'මෙවර ජන්දය ප්‍රකශ නොකළ පිරිස ගත්තම සියයට තිස් පහයි, විපක්ෂයේ ප්‍රතිශතය සියයට හතළිහයි, ඒ දෙක එකතු කළාම විපක්ෂය දිනුම්. ජිනීවා වලට එක න්‍යායකුත් මේකට වෙන න්‍යායකුත් තියෙන්න බෑනේ’ එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පවතී මාධ්‍ය හමුවකදී.

ඡන්ද පදනම

මෙවර පළාත් සභා මැතිවරණයේ දී සිය ඡන්ද පදනම රැක ගැනීමට තම පක්ෂයට හැකි වී ඇතයි ද එක්සත් ජාතික පක්ෂය පවසයි.

'ආණ්ඩුවට එය පාරා වළල්ලක්' -අනුර කුමාර දිසානායක

මැතිවරණයේ දී ආණ්ඩුවේ ඡන්ද පදනම අඩු වී ඇති බව පෙන්වා දෙන එම පක්ෂය ඉදිරි ජාතික මැතිවරණයක දී ආණ්ඩුව පරාජය කිරීමේ හැකියාවක් තම පක්ෂයට ඇති බව ද ප්‍රකාශ කරයි.

‘සමහර අය ප්‍රකාශ කළා මේ පාර මැතිවරණයේ දී අපි තුන් වෙනි තැනට පත් වෙනවා කියල. එහෙත් විවිධ අභියෝග මධ්‍යයේ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ඒ ඡන්ද පදනම රැක ගැනීමට සමත් වෙලා තිබෙනවා’ සභාපති කබීර් හෂීම් කියා සිටියේය.

'ජනපතිට පාඩමක්'

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසන්නේ නීති විරෝධී මැතිවරණ ව්‍යාපාරයක යෙදුණු ජනාධිපතිවරයාට ජනතාව පාඩමක් උගන්වා ඇති බවයි.

‘දැන් ඇමරිකාවට අර්ථකථනය කරන්න පුළුවන් ආණ්ඩුවේ තර්කය අනුව කොළඹ ජනතාව 55%ක් ජිනීවා යෝජනාව අනුමත කොට තිබෙනවා කියලා, ආණ්ඩුව තම දේශපාලන බලය වෙනුවෙන් රටත් ජනතාවත් මුහුණ දිය හැකි අතිශය අන්තරායකාරී තත්වයන් පවා උපයෝගී කර ගත්තා, ආණ්ඩුවට එය පාරා වළල්ලක් වී එම තර්කයම ඉදිරිපත් කිරීමේ හැකියාව බටහිර රාජ්‍යවලට තියෙනවා’ අනුර කුමාර දිසානායක පැවසීය.

පසුගිය වසර හතර පහ කාලය තුළ සිය පක්ෂය මැතිවරණ වලදී ලැබූ පසුබෑම යටපත් කොට මෙවර පළාත් සභා මැතිවරණයේදී ජනතාව තම පක්ෂයට, විපක්ෂයේ කාර්යභාරය සදහා ශක්තියක් ලබා දී ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසන්නේ.

බස්නාහිර පළාත තුළ ආණ්ඩුව ලබා ඇති පසුබෑමෙන් පෙන්නුම් කරන්නේ ජනපතිවරයාගේ ඉදිරි සය අවුරදු බල සැලැස්ම අසාර්ථක වී තිබෙන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.