කුරාම් ගේ පෙම්වතිය සැකකරු හඳුනා ගනී

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 26 බදාදා - 18:18 GMT

වික්ටෝරියා අලෙක්සන්ද්‍රියා

සාක්ෂිකරුවන්ට තර්ජන එල්ල විය හැකි බැවින් කුරම් ෂෙයික් ඝාතන නඩුවේ විත්තිකරුවන් 06 දෙනා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබේ.

අදාළ නඩුව අද කඳවු අවස්ථාවේ මියගිය කුරාම් ෂයික්ගේ පෙම්වතිය වන රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්රියා නමැත්තිය දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සාක්ෂිකාරිය අධිකරණය හමුවේ කියා සිටියේ 2011 වසරේ දෙසැම්බර් මස 24 වනදා රාත්‍රී මියගිය කුරම් ෂයික් සහ තමන් ලැගුම් ගෙන සිටි නවාතැනේ පැවති නත්තල් සාදයකට සහභාගි වූ බවයි.

'බිම වැටී සිටියා'

එහිදී තමා නවාතැනේ පිහිනුම් තටාකය අසලින් ගමන් කරද්දී පුද්ගලයින් පිරිසක් තමන්ට පහර දුන් බව ඇය කියා සිටියාය .

‘’ඒ සමගම මම පිහිනුම් තටාකයට ඇද වැටුනා. මා තටාකයේ පඩිපෙළ මතින් පිටතට එන්න උත්සාහ කළා. ඒ අවස්ථාවේ පඩිපෙළ මත සිටි පුද්ගලයකු පහර දීම නිසා නැවතත් පිහිනුම් තටාකය තුලට ඇද වැටුනා’’ යැයි සාක්ෂිකාරිය වැඩි දුරටත් කියා සිටියාය.

චුදිත සම්පත් විදානපතිරණ උසාවිය කරා.

පසුව වෙනත් දෙසකින් තටාකයෙන් පිටතට පැමිණ කෑගසමින් තමා සිය පෙම්වතා වූ කුරම් ෂෙයික් සිටි දෙසට දිවගිය බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

"ඒ අවස්ථාවේ කුරාම් ෂෙයික් සිහිසුන්ව බිම වැටී සිටිනු මා දුටුවා . මා කතා කලත් ඔහු මා සමග කතා කළේ නැහැ. ඔහුගේ මුහුණේ කැපුම් තුවාල තිබුණා. දැඩි මානසික හා කායික කම්පනයකට පත් තමා සිහිසුන්වූ වුනා,"යනුවෙන් සිදුවීම විස්තර කළ ඇය තමාට නැවතත් සිහිය පැමිණියේ මාතර රෝහලේදී බවත් එහිදී තමා ඇඳ සිටි ගවුමේ උඩ කොටස ඉරී තිබු අතර තමා පැළඳ සිටි යට ඇඳුම් ඉවත්කර තිබු බවත් පැවසුවාය.

'යට ඇඳුම් ඉවත් කරලා'

රජයේ නීතිඥවරයා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකාරිය තමාට පහර දුන් සැකකරු අද අධිකරණයේ සිටින පළමු විත්තිකරු වූ ලහිරු කැලුම් බව පෙන්වා සිටියාය.

2012 වසරේ තංගල්ල අධිකරණය හමුවේ පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී තමා එම සැකකරු හඳුනා නොගත්තේ සිය ජීවිතාරක්ෂාව පිළිබඳව පැවති බිය නිසා යැයි පැවසුවා .

එහෙත් අද ශ්‍රී ලංකා රජය තමන්ට උපරිම ආරක්ෂාව සැලසීමට ඉදිරිපත් වී ඇති නිසා තමන් සාක්ෂි දීම සදහා අධිකරණය හමුවට පැමිණි බව කියා සිටියාය.

විත්තියේ නීතිවේදීන්ගේ හරස් ප්‍රශ්න හෙට

වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම හෙට දිනට කල් දැමුණු අතර හෙට දිනයේදී සාක්ෂිකාරිය විත්තියේ නීතිවේදීන්ගේ හරස් ප්‍රශ්නවලට භාජනය කිරීමට නියමිතය.

නඩු විභාගය අවසනදී ඉල්ලීමක් ඉදිරිපත් කල රජයේ නීතිවේදියා සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි නිසා සියලු සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරණ මෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ප්‍රධාන විත්තිකාර තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ සමග ඇප මතමුදා හැර සිටි සෙසු සැකකරුවන් 05 දෙනාද රිමාන්ඩ් භාරයේ තැබීමට මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම නියම කළාය.

එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය වන රුසියානු ජාතික වික්ටෝරියා අලෙක්සන්ද්‍රියා දැඩි ආරක්ෂක රැකවල් මැද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුණ අතර, ඇගෙන් සාක්‍ෂි විභාග කිරීම අද ආරම්භ කළ බවයි සංදේශය වෙනුවෙන් අධිකරන තොරතුරු වාර්තා කරන කේ.එස්.උදය කුමාර් පවසන්නේ.

නඩුවේ ප්‍රධාන විත්තිකරු වන දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින තංගල්ල හිටපු ප්‍රාදේශීය සභා සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණ.

මේ වන විට ඇප මත මුදා හරිනු ලැබ සිටින නඩුවේ සෙසු විත්ති කරුවන් පස් දෙනාත් අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

2011 නත්තල් දිනට පෙර දින තංගල්ල නගරය අසල හෝටලයක දී කුරාම් ෂේක් ඝාතනය කළ බවට සම්පත් විදනපතිරණට සහ සෙසු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.