ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි - නවී පිල්ලේ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 26 බදාදා - 17:28 GMT

'ජාත්‍යන්තර පරීක්ෂණයකදී සාක්ෂි දීමට සූදානම් බව පුද්ගලයන් ගණනාවක්ම දැනුම් දී ඇත'

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණය අවශ්‍ය බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය නිර්දේශ කරයි.

නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය ඒ බව කියා සිටියේ, පසුගිය වසරේ මාර්තු මාසයේ පැවැත්වුණු මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී සම්මත වූ යෝජනාව ප්‍රකාර ශ්‍රී ලංකාව සම්බන්ධ විශේෂ වාර්තාවක් මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරමින්.

පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයකද යෙදීමෙන් අනතුරුව සිය වාර්තාව ප්‍රකාශයට පත් කළ ඇය, උතුරේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සහ උගත් පාඩම් කොමිසමේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු ඇතැම් සාධනීය කරුණු පිළිබඳව ප්‍රසාදය පළ කළාය.

'සාවද්‍ය කරුණු'

"මානව හිමිකම් ක්‍රියාධරයන්ට එරෙහිව ශ්‍රී ලංකාව දිගින් දිගටම සිදු කරන තරජන සහ හිංසනයන් සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා," යනුවෙන්ද ඇය කියා සිටියාය.

'මෙම වාර්තාව ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමකි'

"වර්තමානයේ අලුත් සාක්ෂි හමු වන අතර, විශ්වසනීය ජාත්‍යන්තර පරීක්ෂණයකදී සාක්ෂි දීමට සූදානම් බව පුද්ගලයන් ගණනාවක්ම දැනුම් දී ඇත."

කෙසේ නමුත් කොමසාරිස්වරියගේ වාර්තාවට දැඩි විරෝධය පළ කරන ශ්‍රී ලංකා ආණ්ඩුව, පූර්ව නිගමන සහ අසාධාරණ න්‍යාය පත්‍රයක් මත පදනම් වී ක්‍රියා කරන බවට මහ කොමසාරිස්වරියට චෝදනා කරයි.

මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ සාවද්‍ය කරුණු ගණනාවක් සටහන්ව තිබූ බවද ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ නවී පිල්ලේගේ වාර්තාවට ප්‍රතිචාරය පළ කරමින් සඳහන් කළේය.

"මෙම වාර්තාව ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමකි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානය

එබැවින් මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ මූලාශ්‍ර සහ එහි යටි අරමුණු පිළිබඳව ප්‍රශ්ණ කිරීමට ශ්‍රී ලංකා රජය පොළඹවන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් පහක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධ විවාදය මානව හිමිකම් මණ්ඩලයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කාලවේලාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය බ්‍රහස්පතින්දා දක්වා කල් දැමුණු බව ජිනීවා නුවර සිටින මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය පවසයි.

යෝජනාව පහසුවෙන්ම සම්මත වනු ඇති හැඩක් පෙනී යන බවද ඔහු කියා සිටියේය.

මහ කොමසාරිස්වරියගේ දේශනයෙන් අනතුරුව ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් ඇමතූ දෙමළ ජාතික සනධානය, සුළු විවේචන තිබුනත් සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට සිය සහයෝගය පළ කරන බව සඳහන් කොට තිබේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.