'කතෝලිකයන්ගේ ඡන්දය කතෝලිකයන්ට'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අප්‍රේල් 27 ඉරිදා - 16:47 GMT

'කතෝලික මතය නිවැරදිව ප්‍රකාශ කිරීමේ වැදගත්කම අපේ ජනතාවට අවබෝධ කරගැනීමේ අවස්ථාවට අපි පැමිණ සිටිනවා'

දෙදහස් දාහතරේ මාර්තු විසි හතර වැනි දින පළවූ මුල් ප්‍රවෘත්තියට සංශෝධනයකි.

මාර්තු මස විසිනව වන දාට නියමිත බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේදී කතෝලික අපේක්ෂකයන්ට ඡන්දය ප්‍රකාශ කරන මෙන් ශ්‍රී ලංකාවේ කතෝලික සභාව කතෝලික ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

පක්ෂ භේදයකින් තොරව කතෝලික අපේක්ෂකයන් හට ඡන්දය ප්‍රකාශ කරන මෙන් සභාව ස්වකීය බැතිමතුන්ට පවසා තිබේ. කතෝලික සභාව තම බැතිමතුන්ගෙන් මෙවැනි ඉල්ලීමක් කල ප්‍රථම අවස්ථාව මෙයයි.

මාර්තු විසිතුන් වැනි දින ශ්‍රී ලංකා කතෝලික සභාවේ නිල පුවත් පත වන ඥානාර්ථ ප්‍රදීප පුවත්පතේද විවිධ දේශපාලන පක්ෂවලට අයත් කතෝලික අපේක්‍ෂකයන්ගේ ඡායාරූප සහ නම් ප්‍රසිද්ධ කරමින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන මෙන් පාඨකයන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ.

එදිනම කොළඹ නගරයට තදාසන්න දේවස්ථානයකදී දේව මෙහෙය සිදු කළ පූජා ප්‍රසාදිතුමා විසින් මෙවැනි ඉල්ලීමක් කරන ලදි.

'මැතිවරණය අවස්ථාවක්'

බස්නාහිර පළාත් සභාවට තරඟ කරන කතෝලික අපේක්ෂකයන්ගේ නම් සඳහන් කරමින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කරන මෙන් ඉරිදා උදෑසන දේව මෙහෙයේදී පූජා ප්‍රසාදිතුමා තම බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.

කතෝලික අපේක්ෂකයන් හට ඡන්දය ප්‍රකාශ කරන මෙන් ස්වකීය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටීමට තීරණයක් කළේ ඇයිද යනුවෙන් බීබීසී සිංහල සේවය කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික් ජෝසප් පියතුමාගෙන් විමසීය. මෙහිදී කතෝලික සභාවේ නිල ස්ථාවරය ප්‍රතික්‍ෂේප කිරීමක් හෝ නිශ්චිත සනාථ කිරීමක් එතුමා විසින් සිදු නොකරන ලදි.

ශ්‍රී ලංකාවේ කතෝලිකයන්ටද අනෙකුත් ජන කොටස්වල පුරවැසියන් හා සමානාත්මතාවක් ඇති බව එතුමා පැවසීය. තම මතය ප්‍රමාණවත් අයුරින් නියෝජනය වීම තහවුරු කරලීමට කතෝලිකයන් ඔවුන්ගේ අයිතීන් යොදා ගත යුතු බව බෙනඩික් ජෝසප් පියතුමා අවධාරණය කළේය.

"සෙසු සමාජයේ අදහස් හා අභිලාෂයන් සමාන වන අයුරින් අපේ අවශ්‍යතා, අදහස් සහ අභිලාෂයන් ප්‍රකාශ කෙරෙන පදනමක් ගොඩනැගීමට මෙම මැතිවරණය යොදා ගැනීමට අප කල්පනා කළ යුතුයි," යනුවෙන් බෙනඩික් ජෝසප් පියතුමා සඳහන් කළේය.

"තම අයිතිවාසිකම් සහ කතෝලික මතය නිවැරදිව ප්‍රකාශ කිරීමේ වැදගත්කම අපේ ජනතාවට නිවැරදිව අවබෝධ කරගැනීමේ අවස්ථාවට අපි පැමිණ සිටිනවා,"යනුවෙන් එතුමා තව දුරටත් පැවසීය.

කණ්ඩායම් වාදය

කතෝලිකයන් කතෝලිකයන්ට ඡන්දය ප්‍රකාශ කළ යුතු බව පැවසීමට හේතුවී තිබෙන්නේ මේ රටේ සුළු ආගමීක ජන කොටස් වලට රජයේ අනුග්‍රහය ඇතිව අන්තවාදී කණ්ඩායම් වලින් සිදු කෙරෙන හිරිහැර හේතුවෙන් බව ප්‍රධාන විපක්ෂය මේ අතර කියා සිටියි.

කෙසේ වෙතත් කතෝලික සභාවේ මේ ස්ථාවරය කණ්ඩායම් වාදයට යොමුවීමක් බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පැවසීය.

එකී චෝදනා ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා බීබීසීයට පැවසුවේ මැතිවරණ කාලයකදී කතෝලික සභාව ස්වකීය ප්‍රකාශ කිරීම සාමාන්‍ය දෙයක් බව.

ආගමීක සහජීවනයට මේ තීරණය බාධාවක් බව ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දේශපාලනය කණ්ඩායම් වාදය වෙත ගෙන යාම කතෝලික සභාවේ පරමාර්ථය නොවන බව කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික් ජෝසප් පියතුමා පැවසීය.

ප්‍රතික්ෂේප කිරීම

bbcsinhala.com වෙබ් අඩවිය ඔස්සේ මෙහි මුල් පුවත පලවී දින කිහිපයකට පසු කතෝලික ඡන්දදායකයන් කතෝලික අපේක්ෂකයන්ට සහයෝගය දැක්විය යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් නොකළේ යයි බෙනඩික් ජෝසප් පියතුමා පැවසූ බව ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති ආයතනයක සඳහන් වින.

කතෝලික සභාවේ ස්ථාවරය පැහැදිලි කිරීම පිණිස තවත් සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමට බීබීසී සිංහල සේවය බෙනඩික් ජෝසප් පියතුමා ඇමතීය. කෙසේ වෙතත් දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවය කිහිපවිටක්ම උත්සාහ කළද එයට බෙනඩික් ජෝසප් පියතුමා විසින් ප්‍රතිචාර නොදක්වන ලදි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.