දෙමළ ජනතාවට වද දෙන්නේ 'බලය පෑමට'

  • 23 මාර්තු 2014
'මේ 40 දෙනාගෙන් වැඩි දෙනාගේ දේශපාලන රැකවරණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරලා, ආපසු ලංකාවට යවපු අය'

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව දිගින් දිගටම දෙමළ රැඳවියන් වද බන්ධනවලට ලක් කරන්නේ එල්ටීටීඊයට සහාය දීම වෙනුවෙන් ඔවුන්ගෙන් පළි ගැනීමේ අරමුණින් විය හැකි බව මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර නීතිවේදිනියක් පවසයි.

හමුදාවේ මානව හිමිකම් උල්ලංඝන චෝදනාවලට වැරදිකරුවන් සොයා දඬුවම් නොකිරීමේ වාතාවරණයක් පැවතීමද එයට තවත් හේතුවක් බවද යස්මින් සූකා කියා සිටියාය.

දකුණු අප්‍රිකාවේ සත්‍යය හා ඒකාග්‍රතාවය පිළිබඳ කොමිසමේ කොමසාරිස්වරියක වූ යස්මින් සූකා ඒ බව සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ දෙමළ රැඳවියන් වද බන්ධනවලට ලක් කරන බවට සහ ලිංගික අතවර කරන බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍යයේදී ප්‍රකාශයට පත් වූ වාර්තාවක් පිළිබඳව බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

එංගලන්ත සහ වේල්සයේ නීතිවේදී සංවිධානයේ මානව හිමිකම් කමිටුව සමඟ එක්ව මානව හිමිකම් සඳහා වූ පදනම විසින් ප්‍රකාශයට පත් කරන ලද දීර්ඝ වාර්තාවට අනුව, මේ වසරේ පෙබරවාරි මාසයේ දී පවා ශ්‍රී ලංකා හමුදා දෙමළ රැඳවියන් වද බන්ධනවලට ලක් කොට තිබේ.

'2009 සිට 2014 දක්වා ශ්‍රී ලංකාවේ වද බන්ධන සහ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා' මැයෙන් යුත් වාර්තාව සම්පාදනය කිරීම පිණිස අතවරයට ලක් වූ හතලිස් දෙනකුගේ සාක්ෂි සටහන් කරගත් බවද යස්මින් සූකා කියා සිටියාය.

'අල්ලස් දීලා'

"බැරිස්ටර්වරුන් සහ රාජනීතිඥවරුන් ඇතුළු පරීක්ෂකයන් නම දෙනෙක් මේ චෝදනා ගැන විමර්ශනය කළා. ආරක්ෂක හමුදා නීති විරෝධී විදියට තමන් පැහැර ගෙන ගිහිල්ල, රඳවා ගෙන ඊට පස්සේ වද බන්ධන සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු කළා කියල ඒ හතලිස් දෙනාම කිවුව," යනුවෙන්ද ඇය සඳහන් කළාය.

"ඒ හැම සාක්ෂියක්ම ඊට පස්සේ ස්වාධීන වෛද්‍ය වාර්තාවලින් තහවුරු කරලා තියෙනව. ඒ වගේම මේ සාක්ෂි තහවුරු කෙරෙන තවත් වෛද්‍ය වාර්තා 57 ක් අපිට ලැබිල තියෙනව."

ඔවුන් සියලු දෙනාම සිය සාක්ෂි ලබා දුන්නේ බ්‍රිතාන්‍යයේදී බවයි, වාර්තාවේ කතුවරිය පවසන්නේ. මෙම රැඳවියන් එතරම් වද බන්ධනවලට ලක් කළේ නම් ඔවුන් යලි බ්‍රිතාන්‍යට පැමිණියේ කෙසේ දැයි යන්න බීබීසී සංදේශය යස්මින් සූකාට යොමු කළ ප්‍රශ්නයක්.

"ඒ අයගෙන් වැඩි දෙනාගේ පවුල්වල සාමාජිකයන් ඔවුන් නිදහස් කර ගැනීමට ආරක්ෂක හමුදාවලට අල්ලස් දීල තියෙනවා. ඒක කරලා තියෙන්නේ මැදිහත්කරුවන් හරහා. ඊට පස්සේ ඔවුන්ට රටින් පනින්න බොරු ලියකියවිලි හදල දෙල තියෙනව. පැහැදිලිවම මේකට ආගමන විගමන නිලධාරීනුත් සම්බන්ධයි," යන්න ඒ ප්‍රශ්නයට ඇය පළ කළ ප්‍රතිචාරයයි.

එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසාන භාගයේ යුද අපරාධ චෝදනා පිළිබඳව විමසීම පිණිස එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් පත් කරන ලැබූ විශේෂඥ කණ්ඩායමේ ද සාමාජිකාවක් ලෙස ක්‍රියා කළ ජ්‍යෙෂ්ඨ නීතිවේදිනියක් වන යස්මින් සූකා එල්ල කරන මෙම චෝදනා ශ්‍රී ලංකා හමුදාව ප්‍රතික්ෂේප කරයි.

'හමුදාවට අවමන් කිරීම'

"කිසිදු ආකාරයකින් ආරක්ෂක හමුදාවන් එවැනි පහත් ආකාරයකින් කටයුතු කළ බවක් වාර්තා වී නැහැ. මේවා හිතාමතාම ජනතා ගෞරවයට පාත්‍ර වී සිටින හමුදාව අවමානයට පත් කිරීමේ අරමුණින් කරන ප්‍රකාශ බවයි, අපි විශ්වාස කරන්නේ," බවයි අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී සංදේශයට කියා සිටියේ.

'ජනතා ගෞරවයට පාත්‍ර වී සිටින හමුදාව අවමානයට පත් කිරීමේ අරමුණින් කරන ප්‍රකාශ'

විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලාංකිකයන්ට දේශපාලන රැකවරණ ලබාදීමේදී දැඩි ප්‍රතිපත්තියක් අනුගමණය කරන බැවින්, බොහෝ දේශපාලන රැකවරණ පතන්නන් ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරන බව ආණ්ඩුව නිරන්තරයෙන් නගන චෝදනාවක්. එම චෝදනාවද සංදේශය වාර්තාවේ කතුවරියට යොමු කළේය.

"අපි කතා කළ හතලිස් දෙනාගෙන් වැඩි දෙනාගේ දේශපාලන රැකවරණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරලා, ආපසු ලංකාවට යවපු අය. ඊට පස්සේ තමයි ඔවුන්ව පැහැරගෙන ගිහිල්ල වද දීල තියෙන්නේ," යනුවෙන් යස්මින් සූකා කියා සිටියාය.

"ඇත්තටම දේශපාලන රැකවරණ ලබා ගැනීම දැන් ඉතාම දුෂ්කරයි. ඔවුන්ගේ ඉල්ලුම්පත්‍ර දැන් දැඩි පරීක්ෂාවකට ලක් කෙරෙනවා. ඒ නිසා මේ පිරිස කියන කතාව සම්පූර්ණ ඇත්තයි කියන එක ගැන මට කිසිම සැකයක් නැහැ," යනුවෙන්ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මීට පෙරාතුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිණිස තමා ඉල්ලා සිටි අවස්ථාවේ එයට අවසර නොලැබුණු බව පවසන යස්මින් සූකා මෙම චෝදනා තවමත් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත යොමු නොකළ බවද සඳහන් කළාය.

'මධ්‍යස්ථ නෑ'

එහෙත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට එරෙහිව එල්ල වන මෙවැනි චෝදනා යටි අරමුණක් සහිතව සිදු කෙරෙන දිගු කාලීන ප්‍රචාරක ව්‍යාපාරයක කොටසක් බවයි, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් වනිගසූරිය පවසන්නේ.

"ඇය මීට ප්‍රථම ඉදිරිපත් කළ අදහස් සහ වාර්තාවලිනුත් ඇය සම්බන්ධ වී සිටින රාජ්‍ය නොවන සංවිධානය මීට ප්‍රථම ලංකාව සම්බන්ධයෙන් දක්වා තිබෙන අදහස්වලිනුත් පැහැදිලි වෙනවා ඒ අයගේ අදහස් මධ්‍යස්ථ අදහස් නොවන බව," යනුවෙන්ද බ්‍රිගේඩියර්වරයා පැවසීය.

කෙසේ නමුත් එම චෝදනාව යස්මින් සූකා ප්‍රතික්ෂේප කරයි.

"මම ඒක පිළිගන්නේ නැහැ. අවුරුදු විස්සක් තිස්සේ මම නීති ක්ෂේත්‍රයේ වැඩ කරලා අත් දැකීම් ලබල තියෙනව. මම ස්වාධීන පුද්ගලයෙක් ලෙසින් මහ ලේකම්වරයා පවා සලකන නිසා තමයි, මාව ශ්‍රී ලංකාව පිලිබඳ සොයා බලන කමිටුවට පත් කළේ," යනුවෙන් ඇය සංදේශයට කියා සිටියාය.

"අපි කවද හරි පැත්තක් ගත්ත නම් අපිට ස්වාධීන විශේශඥයන් විදියට දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ."

(යස්මින් සූකා සහ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය සමඟ කළ සාකච්ඡාවල හඬ පටවලට සවන් දෙන්න)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර