සිසු උද්ඝෝෂණයට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 19 බදාදා - 17:55 GMT

සිය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ, කොටුවේ දී විරෝධතා දැක්වූ සරසවි සිසු උද්ඝෝෂණයට පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කැලණිය සරසවිය ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන කොළඹ කොටුව දක්වා පැමිණි අතර එහි උද්ඝෝෂණය කරමින් සිටියදීයි ඔවුන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයට ලක් වුණේ.

සියලු විශ්ව විද්‍යාල නියෝජනය කරමින් දහස් ගණනක් සිසුහු ඊට සහභාගී වී සිටි බවයි, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත ඉන්දික ප්‍රකාශ කළේ.

ගත වූ මාස හය හත ඇතුළත සිසුන් ඒ ඒ විශ්ව විද්‍යාලවල තිබූ ප්‍රශ්න නිසා ඊට එරෙහිව හඬ නැඟූ බවත් අද, බදාදා වන විට රජරට විශ්ව විද්‍යාල සිසුන් ආරම්භ කොට ඇති සත්‍යග්‍රහයට දින සියයක් සම්පූර්ණ වන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත ඉන්දික පැවසුවේය.

සත්‍යග්‍රහ

ම්ලේච්ඡ ලෙස පහර දෙමින් සිසුන් සත්‍යග්‍රහ කළ අට්ටාල කඩා බිඳ දැමුවා මිස කිසිදු පිළිතුරක් ලබා නොදුන් බවයි ඔහු පවසන්නේ.

සම සෞඛ්‍ය උපාධිය සිව් අවුරුදූ උපාධියක් ලෙස තබා ගැනීම, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධි කප්පාදුව නේවාසිකාගාර ගැටළු විසඳා ගැනීම සඳහා සිසුන් මෑත ඉතිහාසයේ දිගටම සටන් කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

සිසුන් කෙතරම් සටන් කලත් විසඳුම් දෙනවා වෙනුවට බලධාරීන් කරන්නේ සිසුන් මර්දනය කිරීම බවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත ඉන්දික පැවසුවේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.