නිදහස් කලත් බියක් - රුකී ප්‍රනාන්දු

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 19 බදාදා - 14:23 GMT

මානව හිමිකම් වෙනුවෙන් තමා සමඟ ක්‍රියා කරන අය සහ තමාගේ ආරක්ෂාව පිළිබඳව බියක් පවතින බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත් අඩංගුවේ සිට නිදහස් කරනු ලැබූ මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු පවසයි.

ප්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ඉරිදා අත් අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නිදහස් කරනු ලැබූහ.

විශේෂ පරීක්ෂණයක්

තමා නිදහස් කිරීමෙන් පැය කිහිපයකට පසු ගල්කිස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ගල්කිස්සේ පිහිටි තම නිවසට පැමිණ තම මවට සහ පියාට විශේෂ පරීක්ෂණයකට සහභාගි වීම සඳහා හෙට බ්‍රහස්පතින්දා දිනයේ දී පැමිණෙන ලෙස දන්වා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම විදේශ කටයුතු අමාත්‍යංශය සිය වෙබ් අඩවියේ නිල නිවේදනයක් නිකුත් කරමින් තමා සහ ප්‍රවීන් මහේසන් පියනම ඇප මත නිදහස් කළ බව ප්‍රකාශ කොට තිබීම සම්පූර්ණ අසත්‍යයක් බවත් ඔහු පැවසුවේය.

“මහේස්ත්‍රාත්තුමිය ඇප දුන්නෙත් නැහැ.ටීඅයිඩී එකෙන් ඇප දෙන්න කියල ඉල්ලීමක් කලෙත් නැහැ. ටීඅයිඩී එකෙන් කිව්වේ අපිව නිදහස් කරන්න කියල,” මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු පැවසුවේය.

විශාල සතුටක්

තමාත් ප්‍රවීන් මහේසන් පියතුමාත් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන සහ පිට රටවල් පෙනී සිටීම ගැන අසන්නට ලැබීමෙන් විශාල සතුටක් දැනුන බවයි ඔහු කියා සිටියේ.

ඒ නිසාම හිංසාවක් නොමැතිව ඉතා ඉක්මනින් නිදහස ලැබීමට එම සංවිධාන වල සහ ජන මාධ්‍ය මගින් කරන ලද මෙහෙය ඉවහල් වන්නට ඇති බවයි ඔහු පැවසුවේ.

එල්ටීටීඊ සංවිධානය යලි ප්‍රති සංවිධාන කිරීමේ කටයුතුවලට ආධාර අනුබල දීම අත් අඩංගුවට ගැනීමට හේතුවක් වශයෙන් ඉදිරි පත් කොට තිබූ බව පැවසූ ඔහු එය තමන් ප්‍රතික්ෂේප කළ බව කියා සිටියේය.

දින දෙකකට පසුව ටීඅයිඩී යද එය පිළිගෙන මහේස්ත්‍රාත්තුමියට ඒ බව දන්වා තමා නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බවයි ඔහු ප්‍රකාශ කළේ.

අත් අඩංගුවට හේතු

දෙවැනි කරුණ ලෙස රජය අපහසුතාවට පත් කිරීම සහ තෙවැනි හේතුව වශයෙන් තොරතුරු විදේශ රටවලට දැනුම් දී මුදල් ලබා ගැනීම ඉදිරිපත් කොට ඇති බවත් ඔහු පැවසුවේය.

තමා ප්‍රශ්න කිරීමට ලක් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් එම කරුණු අත් අඩංගුවට ගැනීමට වරදක් වන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කළ බව ප්‍රකාශ කළේය.

ප්‍රවීන් මහේසන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු යන දෙදෙනාම අතුරුදහන් වුවන්ගේ පවුල් සමග කටයුතු කරමින් ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාධරයන් දෙදෙනෙක්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.