ජාතික ඖෂධ ප්‍රතිපත්තිය 'සූදානම්'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 19 බදාදා - 14:44 GMT

ආණ්ඩුවේ අරමුණ 'ඖෂධ මාෆියාවෙන් ජනතාව ගලවා ගැනීම'

ශ්‍රී ලංකාවට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සියල්ල සූදානම් බව පවසන ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීහු, රටේ ජනතාවට සාධාරණ මිලට ගුණාත්මක ඖෂධ ලබා දීම මේ ප්‍රතිපත්තියේ අරමුණ බවද සඳහන් කරයි.

කෙසේ නමුත් ආණ්ඩුවේ සැබෑ අරමුණ සැක සහිත බවයි, සෞඛ්‍ය ක්‍රියාධරයන් පවසන්නේ.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් සූදානම් බව කලක් මුළුල්ලේම රජය ප්‍රකාශ කරන බව පෙන්වා දෙන මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය, මෙවර හෝ එය සාර්ථක වේවිද යන්න සැක සහිත බවද පවසයි.

රජයේ අලුත් ප්‍රතිපත්තිය සැබෑ සේනක බිබිලේ ප්‍රතිපත්තිය මත පදනම් වූවක්ද නොඑසේනම් බහු ජාතික ඖෂධ සමාගම්වල අවශ්‍යතා ඉටු කරන අන්දමට එය සකස් වී තිබේ ද යන්න ප්‍රශ්ණයක් බවයි, එම සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර සංදේශයට කියා සිටියේ.

සේනක බිබිලේ ප්‍රතිපත්තිය

රාජ්‍ය ඖෂධ ආයතන සංකල්පය ලෝකයට හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ආරම්භක සභාපතිවරයායි.

'ඖෂධ සම්බන්ධයෙන් රජය සම්පූර්ණ අධිකාරී බලයක් පවත්වා ගෙන යා යුතුයි'

වසර හතළිහකට පෙර ඔහු හඳුන්වා දුන් ඖෂධ ප්‍රතිපත්ති ලොව බොහෝ රටවල් දැන් අනුගමනය කළත්, ශ්‍රී ලංකාවේ තවමත් එය සාර්ථක වී නැහැ.

ඖෂධ නිෂ්පාදනය, ආනයනය, වෙළඳාම හා බෙදාහැරීම් වැනි කටයුතු සම්බන්ධයෙන් රජය සම්පූර්ණ අධිකාරී බලයක් පවත්වා ගෙන යා යුතු බව සේනක බිබිලේ ප්‍රතිපත්තියේ සාරාංශයයි.

ලංකාවේ ඖෂධ සමාගම් ඖෂධ වෙළඳාමෙන් සියයට 200 සිට 800 දක්වා ලාභ ලබන බවද මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය ප්‍රකාශ කරයි.

'ඖෂධ මාෆියාව'

නව ඖෂධ ප්‍රතිපත්තිය රහසේ නීතිගත කිරීමට පෙර රටට එය හෙළි කළ යුතු බවත් එම සංවිධානය ඉල්ලා සිටියි.

කෙසේ නමුත්, ජාතික ඖෂධ ප්‍රතිපත්ති නීති කෙටුම්පත ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක සංදේශයට කියා සිටියේ.

ජනතාවට අඩු මිලට ගුණාත්මක ඖෂධ ලබා දීම හැර වෙනත් අරමුණක් රජයට නැති බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඕනෑම කෙනෙකුට එහි අන්තර්ගතය දන ගත හැකි බවත් පැවසීය.

"ඖෂධ මාෆියාවෙන් ජනතාව ගලවා ගැනීම," ආණ්ඩුවේ අරමුණ බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.