ශ්‍රී ලංකාව ගැන 'නිත්‍ය නිරීක්ෂණයක් අවශ්‍යයි'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 17 සඳුදා - 11:53 GMT

'ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මණ්ඩලයේ නිත්‍ය නිරීක්ෂණයක් අවශ්‍යයි'

රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා ඇතුළු මානව හිමිකම් ක්‍රියාධරයන් කිහිප දෙනකුම පසුගිය සතියේ අත් අඩංගුවට ගෙන රඳවා ගැනීම මගින් ජිනීවා මානව හිමිකම් කොමිසම මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය පිළිබඳව නිත්‍ය නිරීක්ෂණයක අවශ්‍යතාවය තවදුරටත් තහවුරු කෙරෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සිදු වූයේ වර්තමානයේ සහ අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණයන් හේතුවෙන් බවයි, කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ.

ඉරිදා රාත්‍රියේ කිලිනොච්චියේදී අත් අඩංගුවට ගනු ලැබූ ඉන්ෆොර්ම් සංවිධානයේ රුකී ප්‍රනාන්දු සහ යාපනයේ සාමය සහ සංහිඳියාව සඳහා වූ මධ්‍යස්ථානයේ ප්‍රවීන් පියතුමා ඉන් අනතුරුව ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් කොළඹටරැගෙන ආ බව පොලිසිය පවසයි.

යාපනයේ කතෝලික සභාව

අපරාධකරුවෙකුට රැකවරණ ලබා දුන් බවට සැක පිට පසුගිය සතියේ කිලිනොච්චියේදී අත් අඩංගුවට ගනු ලැබූ ජෙයකුමාරි බාලේන්ද්‍රන් සහ ඇයගේ දියණියගේ තතු විමසීම පිණිස ඔවුන් දෙදෙනා කිලිනොච්චිය බලා ගිය බව ක්‍රියාධරයෝ පවසති.

රඳවා ගනු ලැබූ සියලුම දෙනා සම්බන්ධයෙන් නීතියේ විධිවිධාන ප්‍රකාර කටයුතු කරන මෙන් සහ ඔවුන්ට සිය නීති උපදේශකයන් හමුවීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසද එක්සත් ජනපදය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා කතෝලික සභාවේ යාපන දියෝකීසියේ ගිහි සභාව, ඔවුන් දෙදෙනා සහ ජෙයකුමාරි බාලේන්ද්‍රන් වහාම නිදහස් කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි.

සිය පුත්‍රයා අතුරුදහන් වී ඇති බව පවසන ජෙයකුමාරි බාලේන්ද්‍රන්, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් උතුරේ සංචාරය කරද්දී අතුරුදහන් වීම් වලට එරෙහිව පැවති උද්ඝෝෂණ වලදී ඉදිරියෙන්ම සිටියාය.

ඇයගේ පුත්‍රයා බලහත්කාරයෙන් කොටි හමුදාවට බඳවා ගෙන ඇති බවත් යුද්ධය අවසානයේදී හමුදාවට භාර වීමෙන් අනතුරුව අතුරුදහන් වී ඇති බවත් වාර්තා වී තිබුණි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.