ජිනීවා යෝජනාවලින් රටට හානියක් නෑ - ෆොන්සේකා

17 මාර්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 13:54 GMT

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කොට තිබෙන ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සම්මත වුවත් එමගින් ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලංකාවාසී ජනතාවට කිසිදු හානියක් නොවන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසයි.

'අපේ පාලකයාට කවදාවත් ඒකෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නෑ'

ඔහු ඒ බව සඳහන් කළේ නඩු විභාගයකට පෙනී සිටීම පිණිස කොළඹ මහාධිකරණයට පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින්.

මානව හිමිකම් උල්ලංඝනය කළ පාලකයන්ට දඬුවම් කිරීම විනා ජනතාවට හානියක් කිරීමේ අදහසක් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනාවේ අරමුණ නොවන බවයි, ජනරාල් සරත් ෆොන්සේකා පවසන්නේ.

'ගැලවෙන්න බෑ'

ශ්‍රී ලංකා යුද හමුදාව කිසිදු යුද අපරාධයක් සිදු කොට නොමැති බව පවසන ඔහු, එවැනි චෝදනා එල්ල වන්නේ නම් ඊට පිළිතුරු තමන් සතුව තිබෙන බවද සඳහන් කළේය.

එම චෝදනාවලට පිළිතුරු දිය හැක්කේ තමන්ට පමණක් බව ජනරාල් ෆොන්සේකා අවධාරණය කරයි.

රණවිරුවන් විදුලි පුටුවට ගෙන යාමේ සුදානමක් පවතින බවට රජය කරන ප්‍රකාශ අසත්‍ය බව සඳහන් කළ හිටපු හමුදාපතිවරයා, යම් පාලකයකු නීති කඩ කරමින් ඒකාධිපති ස්වරුපයෙන් කටයුතු කරන්නේ නම් එවැනි අවස්ථාවල රටකට මැදිහත්වීම් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකියාව පවතින බවද පැවසීය.

"ඒක තමයි ලෝකේ නීතිය. ඉතින් අපේ පාලකයාට එවැනි දේකට මුහුණ දෙන්න වෙලා තියෙනව නම්, එයාට කවදාවත් ඒකෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නෑ," යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.