එජාප සමඟ කිසිම සන්ධානයක් නෑ - ජවිපෙ

  • 16 මාර්තු 2014
'එජාපය සමඟ සෘජුව හෝ වක්‍රව කිසිදු සන්ධානයක් හෝ එකඟතාවයකට යාමට ජවිපෙ සූදානම් නැහැ'

එළැඹෙන කිසිදු මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත නොවන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක ඒ බව කියා සිටියේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම් විපක්ෂයේ සියලුම කණ්ඩායම් සන්ධාන ගත විය යුතු බවට එක්සත් ජාතික පක්‍ෂය (එජාප) කරන ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.

ඉදිරි මැතිවරණවලදී පොදු විපක්ෂයක් ලෙසින් තරඟ වැදීම පිණිස ජවිපෙ ඇතුළු සියලු විරුද්ධ පක්ෂ සමඟ නිල නොවන මට්ටමින් 'අවබෝධයක්' ඇති කොට ගෙන තිබෙන බව එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.

ජනපතිවරණය '2016 දී'

එහෙත් සන්ධානගත වීමේ අවශ්‍යතාවයක් තිබෙන නමුත් ඒ සඳහා ගොනු කර ගත යුතු කණ්ඩායම් නිසි ලෙසින් හඳුනාගත යුතු බවයි, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එයට ප්‍රතිචාරය පළ කරමින් සංදේශයට කියා සිටියේ.

"පුළුල් පෙරමුණ ගොඩ නැගීම තමයි අපේ අපේක්ෂාව. එහෙම නැතුව එක්සත් ජාතික පක්ෂය සමඟ සෘජුව හෝ වක්‍රව කිසිදු සන්ධානයක් හෝ එකඟතාවයකට යාමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නැහැ," යනුවෙන්ද ඔහු පැවසීය.

කෙසේ නමුත් ඉදිරි ජනපතිවරණයේදී සියලු දෙනාට පිළිගත හැකි ස්ථාවරයකට ඒම සම්බන්ධයෙන් ජවිපෙ පමණක් නොව අනෙක් සියලු විරුද්ධ පක්ෂ සමඟද නිල නොවන මට්ටමේ සංවාදයක් ආරම්භ වී තිබෙන බවයි, තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සංදේශයට කියා සිටියේ.

ජනපතිවරණය හෝ මහ මැතිවරණය මේ වසරේ පැවැත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන නමුත්, මීළඟ ජනාධිපතිවරණය පවත්වන්නේ 2016 දී බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා විදේශීය මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් කළ විමසීමකදී කියා සිටියේය.