‘ගෝල්ඩන් කී’ මුදල් ගෙවන මෙන් අධිකරණ නියෝගයක්

  • 10 මාර්තු 2014
දුෂාන්ති හපුගොඩ

‘ගෝල්ඩන් කී’ අධ්‍යක්ෂක වරුන්ගේ පෞද්ගලික දේපළ විකුණා එම මුදල් සමාගමේ මුදල් තැන්පත් කළ ගිණුම් කරුවන්ට ගෙවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කළේය.

ගෝල්ඩන් කී ආයතනයේ තැන්පත් කරන ලද මුදල් අහිමි වූවන්ගේ සංගමය ගොනු කළ පෙත්සමක් අද, සිකුරාදා කැඳවූ අවස්ථාවේ අග විනිසුරු මොහාන් පිරිස් ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනුයි එම නියෝගය කරන ලද්දේ.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ රජයේ නීතිවේදියා ගෝල්ඩන් කී අධ්‍යක්ෂවරුන්ගේ පෞද්ගලික වත්කම් අඩංගු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

අධ්‍යක්ෂක වරුන්ගේ පෞද්ගලික දේපළ විකිණීමට නියෝගයක් ඉල්ලා සිටීම නීති විරෝධී බවයි, ගෝල්ඩන් කී සමාගමේ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් අධිකරණය ඉදිරියේ කියා සිටියේ.

එහෙත් එම වාර්තාව පරික්ෂා කළ අධිකරණය අදාළ දේපළ විකුණා ලැබෙන අරමුදලින් තැන්පත්කරුවන්ට අහිමි වූ මුදල් ගෙවීමට පියවර ගන්නා මෙන් මහ බැංකුවට නියම කළේය.

එකී දේපළ විකිණීම තුලින් රුපියල් ලක්ෂ අටසීයකට ආසන්න මුදලක් උපයා ගත හැකි බවයි අධිකරණය හමුවේ ප්‍රකාශ කෙරුණේ.

මේ අතර ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කොට මුදල් අහිමිවූවන්ගේ සංගමයේ සභාපතිනි දුෂාන්ති හපුගොඩ බීබීසී සංදේශයට කියා සිටියේ, ගෝල්ඩන් කී අධ්‍යක්ෂකවරුන් විසින් වංචා කරන ලද සමස්ත මුදල්වල වටිනාකම රුපියල් කෝටි 2600 කට ආසන්න බවයි.

ඔවුන්ගේ දේපළ පවරා ගනිමින් තැන්පත්කරුවන්ට අහිමි වු මුදල් ගෙවන මෙන් කෙරුණ අධිකරණ නියෝගය නීති විරෝධි නොවන බවයි, දුෂාන්ති හපුගොඩ පවසන්නේ.